ගෝල්ෆේස් අරගලයට හමුදාව සහ පොලීසිය යොදවා පහරදුන් අවස්ථාවේදී, නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ජුලි 23 වැනිදා කුමුදුනී වික්‍රමසිංහ, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ එය විභාගයට ගනු ලැබුවා.
2022 ජුලි 22 වැනිදා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට පහරදුන් අවස්ථාවේදී නීතිඥ නුවන් බෝපගේ අත්අඩගුවට ගත් අතර මහේස්ත්‍රාත් අධිකරණයට අයුතු ජනරාශියක සාමාජිකයෙකු යන පදනම මත අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මෙසේ පහරදීම සිදු කර තිබුණේ, ඒ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථාන කිහිපයක් අත්පත් කරගෙන සිටි අරගලකරුවන් විසින් එම ස්ථාන නැවත රජයට භාර දී එම ස්ථානවලින් ඉවත් වන බව ජුලි 21 වැනිදා තීන්දු කර තිබියදීයි.
මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ එදින පාන්දර නීතිවිරෝධී ලෙස අරගල භූමියට ඇතුළු වූ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බව තමාට දැනුම් දුන් පසු නිරීක්ෂකයෙකු හැටියට නීතිඥ නුවන් බෝපගේ එම අවස්ථාවට සහභාගී වී තිබුණු බව. ජනතාවගේ දූරකථන ඇමතුම් එතැනට පැමිණෙන ලෙස ලැබී තිබුණු බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. එම අවස්ථාවේදී පුද්ගලයෙකුට දරුණු ලෙස පහරදෙන බව දැකගැනීමට ලැබුණු පසු පොලිස් නිලධාරීන් සමඟ කතා කිරීමට නීතිඥයෙකු ලෙස ඔහු උත්සාහ කළ බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා. එසේ පහරදීමට කටයුතු නොකරන ලෙස ප්‍රකාශ කිරීමට උත්සාහ කර තිබුණා. ඔහු සතුව නීතිඥ හැඳුනුම්පත තිබියදී ඔහුගේ අත්වලින් ඇදගෙන ගොස් අත්අඩංගුවට ගෙන පහර දී තිබුණා.
එම අවස්ථාවේදී නීතිඥ නුවන් බෝපගේ ඉදිරිපත් වී තිබුණේ අනුරංග නම් වූ තරුණයාව ආරක්ෂා කර ගැනීම සඳහායි. අනුරංග යනු මැයි 9 වැනිදා මාරාන්තික ලෙස ගෝල්ෆේස් පිටියේදී ප්‍රහාරයට ලක්ව, හිස් කබල ඉවත් කරමින් සැත්කමකට පවා බඳුන්ව සිටි තරුණයෙක්.
මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම, අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම, කිසිදු හේතුවක් නොදක්වා අත්අඩංගුවට ගැනීම සහ රැකියාව සිදු කරගෙන යෑමට බාධා කිරීම ඇතුළු මූලික අයිතිවාසිකම් කඩ කිරීම් රැසක් සිදුව ඇතැයි පෙන්වාදෙමින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට කොටුව පොලීසියේ ස්ථානාධිපති සාගර ලියනගේ, මරදාන පොලීසියේ ස්ථානාධිපති ඇපලතොටුව, කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපති කරුණාරත්න, සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝවආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති සීඩී වික්‍රමරත්න, යුධ හමුදාපති විකුම් ලියනගේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තකරුවන් ලෙස නම් කර තිබුණා. එහෙත් ඒ අතරින් පොලිස්පතිවරයාට සහ හමුදාපතිවරයාට එරෙහිව පමණක් නඩුව කරගෙන යෑමට අවසර ලබා දී තිබුණා.
නඩුව කැඳවූ අවස්ථාවේදී පොලීසිය විසින් නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගැනීමට අදාල වීඩියෝ පටිගත කිරීම් ඉදිරිපත් කළ අතර, එහිදී බී වාර්තාවෙහි ඇති කරුණුවලට වඩා සැබෑ කරුණු පරස්පර බව පෙත්සම්කරුවන් පෙන්වාදුන්නා.
