වාර විභාග අවශ්‍ය නෑ, හැබැයි ටික කාලෙකට එකක් තියනවා…

විභාග සමත්වීම හෝ අසමත්වීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන අධ්‍යාපන ක්‍රමයකින් ශ්‍රී ලංකාව ඈත් වෙමින් පවතින බව අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය අද(23) පැවසුවාය.

ඒ වෙනුවට රජයේ අරමුණ වන්නේ මොඩියුල පාදක පද්ධතියක් හඳුන්වාදීම තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම බව ඇය පැවසුවාය.

සිසුන් පෙළන විභාග පාදක අධ්‍යාපන ක්‍රමය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෙනස් වන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසයි. මතක තබා ගැනීම මත පදනම් වූ විභාගයෙන් ළමයෙක් අසමත් ද? සමත් ද, සාර්ථකද අසාර්ථකද, යන සියල්ල තීරණය කරයි. එසේම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍යා සහ ගුරුවරයා අතර වන ගණුදෙණුව පවතින්නේ සහ ළමයාව පුරුදු කරන්නේ විභාගය අරමුණු කරගෙනය. මෙහිදී ඇය සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන තුළින් අධ්‍යාපනික වෙනසක් (Pedagogical change) සිදු වන බවයි. ඒ සඳහා නව මොඩියුල ක්‍රමයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

Pedagogical change යන්නෙන් අදහස් කරන්නේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රම, ප්‍රවේශයන් සහ උපාය මාර්ගවල මාරුවීම් හෝ වෙනස් කිරීම් ය. මෙම වෙනස්කම් වලට අධ්‍යාපනයේ නව ශිල්පීය ක්‍රම, තාක්ෂණයන් හෝ දර්ශන අනුගමනය කිරීම ඇතුළත් විය හැකි අතර, එමඟින් සිසුන් සඳහා ඉගෙනුම් අත්දැකීම් සහ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම අරමුණු කර ගත හැකිය.

ශිෂ්‍යයා ස්වයං ක්‍රියාකාරකම්, කුඩා පර්යේෂණ සිදු කිරීම, තොරතුරු සෙවීම වැනි විවිධ ක්‍රමවේද වලින් ඉගෙන ගැනීම මොඩියුල ක්‍රමවේදය තුළ ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. මෙහිදී තක්සේරුවකට භාජනය වන නමුත් එය වාර අවසානයේදී තිබෙන විභාගයක් මෙන් නොවන බව ඇය සඳහන් කළා. ඒ පරිවර්තනය සඳහා අපේ ඔලුව ද සකස් කර ගත යුතු අතර ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇති බව ඇය ප්‍රකාශ කළා.

මක් නිසාද යත් මෙතෙක් කල් පුරුදු පුහුණු කරන ලද, ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් දරුවන්ව විභාගයට පුරුදු කිරීම සහ දරුවන් විසින්ද විභාගයට සූදානම් වීම යන ක්‍රමවේදය වෙනස් වන අතර එය අඛණ්ඩව ඉගෙන ගැනීමේ ක්‍රියාවලියක් බවට පත්වනු ඇත. ළමයා ඉගෙන ගන්නා අතර එහිදී ඇගයීමටද ලක් වේ. මේ සඳහා පුරුදු වීම සඳහා පාසලට, දරුවන්ට, ගුරුවරුන්ට සහ සමාජයට යම් කාලයක් අවශ්‍ය නිසා යම් කාලයක් තුළ මෙය ක්‍රමානුකුලව හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසයි.

එම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 1 සහ 6 ශ්‍රේණි වලින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවා. 2029 වන විට 10 ශ්‍රේණිය දක්වා ගමන් කරන බවත් ඒ අවරුදු 3ක කාලය තුළ පාසල් පද්ධතිය පුහුණු කිරීම, ගුරුවරුන් මේ සඳහා පුරුදු කිරීමට, දරුවන්ට සහ දෙමව්පියන්ට මේ සඳහා හුරුවීමට කාලය ඇති බව සඳහන් කළා.

වාර විභාග සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ එක වරම සිදු නොකළත්, වාර විභාග අවශ්‍ය නොමැති බවයි. කෙසේ වුවද මෙය පරිවර්තනීය කාලයක් නිසා සහ කාටවත් මේ පිළිබඳව තවමත් කළ හැකි බව පිළිබඳව විශ්වාසයක් නොමැති නිසා මෙය කරලම බලන්න වෙන බව ඇය ප්‍රකාශ කළා.

එසේම ඇය සඳහන් කර සිටියේ මෙම පරිවර්තනීය කාලය තුළ ටික කාලයකට හෝ අඩුම තරමින් එක විභාගයක් හෝ තියන්න කටයුතු කරන බවයි.

රනිල්ගේ ආණ්ඩුව ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණම මේ ආණ්ඩුව ගෙන යන බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් හරිණි අමරසුරිය ප්‍රකාශ කළේ මොඩියුල ක්‍රමය සම්බන්ධයෙන් ගෙන ඒමට අපේක්ෂිත ව්‍යූහය එහි නොමැති බවයි.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අද දිනද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විමසා සිටියේ වසර ගණනක අධ්‍යාපන ක්‍රමයක් වෙනස් කිරීමට වන ප්‍රතිසංස්කරණ මාස 6කින් හරිණි අමරසූරිය සකස් කළේ කෙසේද යන්නයි.

Author

Related Posts