අනුලා චෛත්‍ය කෝටි 30කට විකුණලා… රනිල්ට එරෙහිව මිහින්තලේ හිමිගෙන් CIDයට පැමිණිල්ලක්…

අවුරුදු 2000කට වඩා පැරණි මිහින්තලේ අනුලා චෛත්‍ය රුපියල් මිලියන 300කට විකුණා දැමූ බවට චෝදනා කරමින් රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකුට එරෙහිව මිහින්තලේ විහාරාධිපති හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වේ.

වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ මේ වංචාව සඳහා, බෝධා­ගම චන්දිම හිමි, හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ, හිටපු බුද්ධ­ශා­සන අමාත්‍ය විදුර වික්‍ර­ම­නා­යක, හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය තුසිත මෙන්ඩිස්, හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් නිශාන්ති ජය­සිංහ, සැල­සුම් අධ්‍යක්ෂ අනුර බණ්ඩාර ඇතුළු පුද්ග­ල­යන් නව දෙනෙක් ට චෝදනා ඉදිරිපත් කරමිනි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිල්ල ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් මිහි­න්තලේ විහා­රා­ධි­පති හිමි ප්‍රකාශ කලේ,

“ඉතාම වංච­නික ආකා­ර­යට වසර දෙද­හ­ස­කට වඩා පැරණි අනුලා චෛත්‍යය විකු­ණලා තියෙ­නවා. මල්වතු මහා නායක හිමි­යන්ට ද වංචා කළා. උන්ව­හ­න්සේලා මේ ගැන දන්නේ නෑ. රුපි­යල් මිලි­යන 300ට විකු­ණලා තියෙන්නේ. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මේ සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වෙයි කියලා විශ්වාස කර­නවා.
මල්වතු පාර්ශ්වයේ මහ­නා­යක නාහි­මි­යන් වහ­න්සේගේ අනු­ශා­සනා හා මඟ­පෙ­න්වීම අනුව පසු­ගිය වස­ර­වල මිහි­න්තලා පුද­බිමේ ප්‍රති­සං­ස්ක­රණ හා සංර­ක්ෂණ පින්කම් රාශි­යක් සිදු කරනු ලැබුවා.”

“ඒ අතර ඓති­හා­සික මිහි­න්තලා රජ­මහා විහා­ර­ස්ථා­න­යට අයත් පුරා­විද්‍යා ස්මාර­ක­යක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්‍ෂු­ණීන් වහ­න්සේලා වන අනුලා මහ­ර­හත් තෙර­ණිය ඇතුළු මහ­ර­හත් තෙර­ණීන් වහ­න්සේලා පන්සිය නමක් වැඩ සිටි භූමිය වන අනුලා මහ­ර­හත් තෙර­ණි­යගේ ස්තූපය සහිත ඓති­හා­සික පුරා­විද්‍යා භූමියේ සංර­ක්ෂණ කට­යුතු ආරම්භ කිරීම සුවි­ශේෂී පින්ක­මක් ලෙස හැඳි­න්විය හැකියි. අනුලා ස්තූපය සහිත භූමිය පුරා­විද්‍යා භූමි­යක් වුව ද වසර දෙද­හස් ගණ­න­කට පසුව එම භූමිය පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වූයේ මාගේ උත්සා­හය මතයි.

එව­කට බුද්ධ­ශා­සන අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ මහින්ද රාජ­පක්ෂ හට මා විසින් අනුලා ස්තූපය භූමිය පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය කිරී­මෙන් පසුව මෙවැනි ඉතා වැද­ගත් ඓති­හා­සික භූමි­යක් පව­තින බව ජන­ගත වුණා. පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් ලෙස කට­යුතු කළ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය අනුර මන­තුංග මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ මෙහි මූලික කට­යුතු සැල­සුම් කෙරුණා.

ආර­ම්භක අව­ස්ථා­වේදී නීත්‍ය­නු­කූල අයු­රින් මෙම සංර­ක්ෂණ කට­යුතු ආරම්භ කළ ද පසු­කා­ලී­නව එම ක්‍රියා­වෙන් බැහැ­රව ක්‍රියා කරන අයුරු දකි­න්නට පුළු­වන් වුණා. විහා­රා­ධි­ප­ති­ත්වය සහ භාර­කා­රී­ත්වය මා යටතේ පව­තින අනුලා ස්තූපය සහිත භූමි­යෙහි සංර­ක්ෂණ කට­යුතු මුවා­වෙන් සිදු­කර ඇති සියලු වංචා දූෂ­ණ­යන් හා මූල්‍ය අක්‍ර­මි­කතා හා අයථා මූල්‍ය ගනු­දෙනු පිළි­බඳ පූර්ණ විම­ර්ශ­න­යක් සිදු­කර ඒ හා සම්බ­න්ධව පව­තින සත්‍ය තොර­තුරු ජන­තා­වගේ දැන­ගැ­නීම පිණිස හෙළි කළ යුතුයි.

වංචා දූෂණ හා අක්‍ර­මි­කතා මින් ඉදි­රි­යට සිදු කිරී­මට නොහැකි වන පසු­බි­මක් නිර්මා­ණය කිරී­මත් රජයේ වග­කී­මක්. අනුලා ස්තූපය සහිත භූමිය ආශ්‍රි­තව සිදු වන සියලු සංව­ර්ධන හා ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු මහ­නා­හි­මි­යන්ගේ අනු­දැ­නුම ඇතිව විහා­ර­ස්ථා­නය හරහා පම­ණක් සිදු කිරී­ම­ටත් හැකි වන අයු­රින් කට­යුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටි­නවා.” යනුවෙනි.

දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වූ මහානාග යුවරජුගේ අග මෙහෙසිය අනුලා දේවියයි. මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයට වැඩමකළ මිහිදු මහ රහතන් වහන්සේ හමුවට පන්සියයක් කාන්තාවන් සමඟ පැමිණි අනුලා බිසොව පේතවත්ථු, විමානවත්ථු, සච්චසංයුත්ත යන ධර්ම දේශනා අසා සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. නමුත්, සඟමිත් තෙරණිය වැඩමකරන තුරු අනුලා බිසොවට පැවිදිබව ලැබුණේ නැත. එම නිසා සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩමකරන තුරු පන්සියයක් කාන්තාවන් සහ පන්සියයක් අන්තංපුර ස්ත්‍රීන් සමඟ දස සිල් සමාදන් වී කසා වත් හැඳ ගෙන, පැවිද්ද ලබාගනු සඳහා බලා සිටි බව සඳහන් වේ. අනතුරුව සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමකළ පසු පැවිදි වී රහත්භාවය ලැබූ අනුලා බිසොව මෙරට මුල්ම රහත් මෙහෙණින් වහන්සේ ලෙස හඳුන්වනු ලැබේ.

රහත් භාවයට පත්වූ ඇය භික්ෂුනියන් වහන්සේලා සමඟ මිහින්තලයට යාබද මෙහෙණි ආරාමයක වැඩවාසය කරමින් සම්බුදු ශාසනය වෙනුවෙන් මහ මෙහෙවරක් කළ බවත් ඇය වැඩ විසූ ස්ථානයේ පසු කළෙක අනුලා තෙරණියන් සිහිවීම පිණිස විශාල ගල්තලාවක් මත විහාරමහා දේවිය විසින් අනුලා දේවී දාගැබ කරවූ බවත් වංශකතාවල දැක්වේ.

මිහින්තලා පුදබිමේ විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණුවැවේ ධර්මරතන හිමියන් ද සමඟ එක්ව බෝදාගම චන්දිම හිමියෝ මේ පුදබිම පිළිබඳ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සිදුකර එය ප්‍රතිසංස්කරණයට ලක්කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ බව පැවසේ. නමුත් පසුව මේ දෙදෙනා අතර විරසකයක් ඇති වූ බව පැවසේ.

Author

Related Posts