රනිල් වික්‍රමසිංහ විසින් හඳුන්වාදුන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ තිබෙන අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරිමේ ක්‍රියාවලිය තම රජය ප්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සමාලෝචනයට ලක් කළ බවත්, එය පිළි නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළා. ඇය පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවලියෙන් අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීමට සැලසුම් කර තිබුණු බවයි.
‘ඒකේ මොඩියුල් පදනම් කරගත් ක්‍රමය කතා කළා. ඒත් අපි කතා කරන ව්‍යුහය ඒකේ නැහැ. ඒ වගේම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ විවේචනයට ලක් වුණේ, ඒ හරහා යෝජනා වුණේ පරිපාලනයේ වෙනසක්. ඒ වෙනස තුළ රජය අධ්‍යාපනයේ වගකීමෙන් ඈත් වීමක් තිබුණේ. ඒක තමයි එළියේත් අපිත් හැප්පුණේ ඒ කරුණ මත. ආණ්ඩුව ක්‍රමානුකූලව අධ්‍යාපනය දීමේ වගකීමෙන් බැහැර වෙමින් පුද්ගලික ක්ෂේත්රයට බැහැරවීමේ යොමුවක් තමයි තිබුණේ. මේකේ ඒක කිසිසේත්ම නැහැ. මේක පැහැදිලිව අධ්‍යාපනයේ වගකීම රජය භාර ගැනීම තහවුරු කරන යෝජනාවක්. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සහ අපි අතර තියෙන ප්‍රධානම වෙනස සහ වැදගත්ම වෙනස ඒක.‘
මේ අතර රජය හඳුන්වාදීමට බලාපොරොත්තු වන නව විෂය නිර්දේශ රාමුව තුළ ඉතිහාසය සාමාන්‍යපෙළ සඳහා අනිවාර්ය විෂයක් නොකර ආගම සහ සාරධර්ම අධ්‍යනය අනිවාර්ය විෂයක් ලෙස නම් කිරීමට හේතුවක් තිබේදැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ආගම අත්‍යවශ්‍ය විෂයක් විය යුතු බවට අමාත්‍යාංශයේ ආගමික උපදෙස් මණ්ඩලවලින් උපදෙස් ලබා දුන් බවයි.
‘අපි විශාල සංවාදයක් මේකට අපි ගත්තා. විශේෂයෙන්ම අපට අවශ්‍ය වුණේ අපේ අමාත්‍යාංශයේත් ඉන්නවා අපට ආගමික උපදෙස් මණ්ඩල. ඒ අයගේත් අදහස් ගත්තාම ඒගොල්ලන්ගේ අදහසත් වුණේ විශේෂයෙන්ම හය වසරේ සිට නවය වසර දක්වා කාලය තුළ තමන්ගේ ආගමත් වෙනත් ආගම් ගැනත් ඉගෙනගන්න අවස්ථාව දෙන එක වැදගත් කියන එක. ඒ අදහස් අරගෙන තමයි ඒ තීරණය ගත්තේ.
අපට ඕනෑ වුණේ ඉතිහාසය සහ සෞන්දර්ය කියන එක අයින් කරලා නැහැ. මෙතැන හරියට පැහැදිලි කරගන්න ඕනෑ. මේ සඳහාම තමයි සංවාදය වැදගත් වෙන්නේ. තවම අපි විෂයක වැදගත්කම පුරුදු වෙලා තියෙන්නේ මනින්න, විභාගයක් තියෙනවාද නැද්ද කියන එක මත. මොඩියුල් ක්‍රමය තුළින් ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. විභාගයක් අසමත් වීම හෝ නොවීම මත නෙවෙයි හොඳට ඉගෙනගත්තාද කියල තීන්දු වෙන්නේ. මේක වැදගත් වෙනසක්. දරුවෙකුගේ අධ්‍යාපනයේ බර බෑග් එක වගේම විභාග ක්‍රමය තුළත් ආවා. විභාග ක්‍රමය තමයි මූලික වශයෙන්ම බරට හේතුව වුණේ. දැන් ඒක වෙනස් වෙනවා.‘
කෙසේ වෙතත්, විභාග පාදක ක්‍රමය වෙනස් කරන බවත්, ළමයෙකුගේ හොඳ නරක විභාගයෙන් තීන්දු වීම ගැටලුවක් බව ඇය පෙන්වා දුන්නා.
‘මොඩියුල් හරහා ඒ ක්‍රියාකාරකම්, ස්වයං අධ්‍යනයන්, තොරතුරු එකතු කිරීම හරහා ළමයා ඉගෙනගන්නවා. එය පරීක්ෂණයකට භාජනය වෙනවා. ඒත් ඒක
විභාගයක් නෙවෙයි. මේක තමයි මෙතැන වෙන ප්‍රධානම වෙනස. ඒත්, ඒ වෙනසට අපේ ඔලුව හදාගන්නත් කාලයක් යනවා. ගුරුවරුන් සහ දෙමාපියන් පුරුදු කරන්නෙත් විභාගයකට. ළමයාත් විභාගයට සූදනම් නෙවා. දැන් මේක විවිධ ක්‍රියාකාරකම්වලින් ළමයා ඉගෙනගන්නවා. ඇගයීමටත් ලක් වෙනවා. මේකට පුරුදු වීමක්, හුරුවීමක් දරුවන්ටත් සමාජයටත් පාසල් පද්ධතියටත් අවශ්‍ය නිසා තමයි යම් කාලයක් තුළ ක්‍රමානුකූලව හඳුන්වාදෙන්න අපි හිතාගෙන ඉන්නේ.‘
අධ්‍යාපන අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ හය ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා ක්‍රෙඩිට් හෙවත් සම්භාර පාදක අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නද, එයට සිසුන් හුරු වන තුරු වාර විභාග වෙනුවට වර්ෂ අවසාන විභාගයක් පැවැතවීමට සිදු වන බවයි. කෙසේ වෙතත් එය හුරු වන තුරු ගැනීමට බලාපොරොත්තුවන පියවරක් බවත්, නව අධ්‍යාපන ක්‍රමය අනුව එම ශ්‍රේණිවල සිසුන් විභාග පාදක කරගත් අධ්‍යාපනය වෙනුවට සම්භාර පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයකට හුරු කරන බවත් ඇය ප්‍රකාශ කළා.
නව විෂය නිර්දේශ හයවැනි ශ්‍රේණියට 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ යටතේ නවය ශ්‍රේණියට හඳුන්වාදෙන නව කුසලතා පරීක්ෂණය 2029 දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 10 ශ්‍රේණියට 2029 දී නව විෂය නිර්දේශය හඳුන්වාදෙනු ඇති
