ලෝක කඩොලාන දිනය දා පාරිසරික වටිනාකම කියා නිම කළ නොහැකි කඩොලාන වනාන්තර 08 ක් රක්ෂිත ලෙස නම් කරයි.

ලෝක කඩොලාන දිනයට සමගාමීව ජූලි 26 වැනි දා පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසා සිටියා.  

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත අඩවි වන කාර්යාලයේ පිහිටි කඩොලාන වනාන්තර අටක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන බවයි ඇමැතිවරයා සඳහන් කළේ.

ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හී කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වනවා.

කෙසේ නමුත් වෙරළ ඛාදනය සහ භූමිහායනය වළක්වමින් වෙරළ සංරක්ෂණය උදෙසා ස්වභාවික බාධකයක් ලෙස පිහිටමින් කටයුතු කිරීමට මෙම කඩොලාන විශේෂයන්ට හැකියාව ඇති අතර,  කුඩා මසුන් විශේෂ ගණනාවක් කුඩා කාලය සහ තරුණ කාලය ගත කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති භාවිත කරන බවට මේ වන විට පර්යේෂණ මගින් වාර්තා වී තිබෙනවා.

තව ද ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස කඩොලාන පරිසර පද්ධති නම් කර ඇති අතර,  විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති කඩොලාන පරිසර පද්ධති විවිධ සත්ව හා ශාක විශේෂයන් සඳහා වාස භූමි ලෙස ද පවතිනවා.

එසේ අතිශය සුවිශේෂී පාරිසරික වටිනාකමක් සහිත කඩොලාන ශාකයන්ගෙන් යුත්,  මාදම්පේ –  පනිරෙන්ඩාව පිහිටි හෙක්ටයාර 18.9840 යුත් මරම්බැට්ටිය මූකලාන කඩොලාන වනාන්තරය,  මාදම්පේ – පනිරෙන්ඩාව පිහිටි හෙක්ටයාර 6.2914 යුත් වවුල්කැලේ කඩොලාන වනාන්තරය, හලාවත – වෙරළබඩ හෙක්ටයාර 1.35875 යුතු මැරවල C කඩොලාන වනාන්තරය, හලාවත – මැරවල හෙක්ටයාර 8.3572 යුතු මැරවල B කඩොලාන වනාන්තරය, හලාවත – මැරවල හෙක්ටයාර 20.55135 යුතු මැරවල A කඩොලාන වනාන්තරය,  හලාවත – කාක්කපල්ලිය හෙක්ටයාර 10.5157 යුතු මැරවල කඩොලාන රක්ෂිත වනාන්තරය, ආරච්චිකට්ටුව – හලාවත හෙක්ටයාර 0.356 යුතු කුසල කඩොලාන වනාන්තරය හා හලාවත- කරුකපනේ හෙක්ටයාර 0.40995 යුතු කරුකපනේ B කඩොලාන වනාන්තරය එසේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඇමැතිවරයා සඳහන් කර සිටියේ.

එහෙත් මේ වන විට කඩොලාන වනාන්තර ලෙස හඳුනා ගෙන ඇති ප්‍රදේශවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසා සිටි අතර,  මේ හේතුවෙන් මත්ස්‍ය හා සාගර ජීවී විශේෂ ගණනාවක් ප්‍රමාණාත්මකව අඩු වී ගොස් ඇති බව ද පෙන්වා දෙනු ලැබුවා.

තව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පාලකුඹුර අදහස් දක්වමින් සඳහන් කළේ, තවත් හඳුනාගත් කඩොලාන වනාන්තර සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සඳහා මැනීම් කටයුතු සිදු කොට ඒ අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, 26 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන කඩොලාන වනාන්තර අට සඳහා ආසන්න වශයෙන් හෙක්ටයාර 55ක පමණ සමස්ත බිම් ප්‍රමාණයක් ඇතුළත් වන බවත්,  පසුගිය වසර කිහිපයේ දී කඩොලාන වනාන්තර හෙක්ටයාර 300ක් පමණ පුනරුත්ථාපනය කොට ඇති බවත්,  ඉදිරියේ දී තවත් හෙක්ටයාර 20ක් පමණ පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවත් ය‍.

Author

Related Posts