ගුරුවරයෙක් වීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි…
ගුරුවරුන් ගුරු සේවයට එන්නෙ වෙනත් කිසිඳු තැනක අවස්ථාවක් නොතිබුණු විටෙක බව කම්කරු නියෝජ්‍ය ඇමති, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ පවසයි. අද පැවති රුපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ සුදු කරපටි රැකියාවක් නොලැබුණු පසු ගුරු සේවාවට එන බවත් ඒ වෙනුවට ගුරු සේවය ඉහළ සුදුසුකම් තිබෙන වෘත්තිකයන් එන තැනක් බවට පත් කළ යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
අධ්‍යාපන සභාවක්
එසේම අධ්‍යාපන සභාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන අතර අධ්‍යාපන වෘත්තියේ නියැලීම සඳහා බලපත්‍ර ලබා දීම සහ නියාමය කිරීමටද මාළිමා ආණ්ඩුවට ඉලක්කයක් ඇති බව ඔහු ප්‍රකාශ කළා. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ගුරුවරයෙක් වීම සඳහා අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබා ගත යුතු බවයි. ඒ අනුව බලපත්‍රයක් නොමැති කෙනෙකුට ඉගැන්විය නොහැකි අතර, මේ සඳහා ඔවුන් උගන්වන්නේ කොතනද යන්න අදාළ නොවන බව ඔහු පැවසුවා.
එනම්, එම ගුරුවරයා උගන්වන්නේ රජයේ පාසලකද, පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසලකද සහ ටියුෂන් එකකද යන්න අදාළ නොවන අතර ඒ කොතැනක අධ්‍යාපන වෘත්තිකයෙකු ලෙස සේවාවේ නියැලුණත් සියළු දෙනා ලියාපදිංචි වී බලපත්‍රයක් ලබා ගත යුතු බව මහින්ද ජයසිංහ පවසයි.
මෙය මෙඩිකල් කවුන්සිලයට සමාන කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙඩිකල් කවුන්සිලයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට හැර වෙන අයෙකුට බෙහෙත් ලබා දිය නොහැකි අතර එම වෛද්‍යවරයා පෞද්ගලික ප්‍රතිකාර කළත්, රජයේ හෝ පෞද්ගලික රෝහලක සේවය කළත් ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. අධ්‍යාපන සභාවත් ඒ ආකාරයේම සභාවකි. ඒ අනුව යම් කෙනෙකු රජයේ පාසලක, පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසලක සහ ටියුෂන් එකක උගන්වන්නේ නම් මේ සභාවේ ලියාපදිංචි වීම අනිවාර්යය වේ.
මක් නිසාද යත් ගුරුවරුන්ගේ Quality එක සම්බන්ධව විවිධ ගැටළු මතු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සමහර තැන්වලදී විවිධ චෝදනා එල්ල වන බව නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
සමහර තැන් වල කිසිදු අවම සුදුසුකමක් නොමැතිව, ඉතා අඩු වැටුපකට විවිධාකාරයෙන් බඳවා ගන්න තත්ත්වයක් ද පවතිනවා. එම නිසා අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වීමෙන් එවැනි ගැටළු මතු නොවනු ඇති බව ඔහු පවසයි.
අධ්‍යාපන වෘත්තිකයන් සඳහා අචාර ධර්ම පද්ධතියක්
අධ්‍යාපන වෘත්තිකයන් සඳහා අචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමටද බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාතයවරයා පවසයි. යම් උද්ඝෝෂණයකට නියැලෙන තැනක එක අම්මා කෙනෙකුගේ ප්‍රකාශයක් පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ පාසලේ නැටුම් ගුරුවරියකගේ අමතර පන්තියට සහභාගී නොවන නිසා එම දරුවාට පාසලේදී වෙනස්කොට සලකන බවයි. මෙවැනි සිදු වීම් රැසක් ඇති බව සඳහන් කරමින් ඔහු කියා සිටියේ බහුතරයක් ගුරුවරු කැපවීමෙන් කටයුතු කරද්දී සමහර ගුරුවරු මේ ආකාරයට කටයුතු කරන බවයි.
එසේම අධ්‍යාපන වෘත්තිකයන්ට අදාළ විවිධ පරිපාලන ගැටළු පවතින බව සඳහන් කරමින් මහින්ද ජයසිංහ කියා සිටියේ එම ගැටළු සඳහා නිර්දේශ ලබා දීමටද අපේක්ෂා කරන බවයි.
