අධිකරණ නියෝගයක් මත වසා දැමු නිල්වලා ගඟබඩ උද්‍යානය

මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය අනාරක්ෂිත බවත් එහි අනවසර ඉදිකිරිම් ඇති බවත් ඒ මගින් මහජන පීඩාවක් සිදුවන බවත් මාතර මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම උද්‍යානය ලබන අගෝස්තු මස 26 වැනි දින දක්වා තාවකාලිකව වසා දමන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අද (21) සීමාසහිත මාකෝප් රිවර් රෙස්ටොරෙන්ට් පුද්ගලික සමාගම වෙත නියෝග කර තිබෙනවා.

පුද්ගලයින් සිව් දෙනෙකු විසින් මෙම උද්‍යානය අනාරක්ෂිත හා මහජන පීඩාවන් සිදුවන බවට මාතර පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවත් එම පැමිණිලිවලට අනුව පරික්ෂණයක් පවත්වන බැවින් එය මහජනතාවට විවෘත නොකරන ලෙසටයි පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ.

ඒ අනුවයි මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙම උද්‍යානයේ අනාරක්ෂිත බවක් තිබේද යන්න පරික්ෂා කොට ලබන අගෝස්තු 26 වැනි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද නාගරික සංවර්ධන අධිකාරිය,වාරිමාර්ග දෙපාර්තමේන්තුව,මධ්‍යම පරිසර අධිකාරිය,මාතර මහ නගර සභාව ඇතුළු ආයතන කිහිපයකට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම වසා තැබෙන කාල සීමාව සඳහා සීමාසහිත මාකෝප් රිවර් රෙස්ටොරන්ට් පුද්ගලික සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවිය යුතු බදු මුදල් නිදහස් කිරීමට ද නියෝග කර තිබෙනවා.

මෙම උද්‍යානය වසා දැමීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මාතර මූලස්ථාන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය දින දෙකේම උත්සාහ කළා.

පෙරේදා (19) උදෑසන ද ඒ ආකාරයට පැය කිහිපයක් වසා දැමීමෙන් පසු එම උද්‍යානය විවෘත කර තිබෙනවා.

පොදු උද්‍යානයකට ඇතුළු වීමේ ප්‍රවේශය අවහිර කිරීම,සාපරාධි බලහත්කාරය පෑම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වු බව පවසා මාතර පදිංචි සුභාෂ් නැමැති තරුණයෙකු නීතිඥ රුවන් යාපා මාර්ගයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ද මාතර මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු නිලධාරීන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද වගඋත්තරකරුවන් කරමින් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයට ගරු කරමින් අදාළ දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සංකල්පයකට අනුව ඉදිකළ මෙම උද්‍යානය කිඹුල් වැට ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් කාලයක් වසා දමා වල් බිහි වී ගොස් තිබුණා.

පසුව නාගරික සංවර්ධන අධිකාරිය මෙම උද්‍යානය නඩත්තු කර පවත්වාගෙන යාමට පෞද්ගලික ආයෝජයෙකුට දීම සඳහා ඉකුත් වසරේ මුල් භාගයේ දී පුවත්පත් දැන්වීම් පළකර තිබුණා.

ඒ අනුව සීමාසහිත මාකෝප් රිවර් සමාගම ගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරියට මාසිකව රුපියල් අට ලක්ෂයකට වැඩි බදු මුදලක් ගෙවා එම උද්‍යානය සංවර්ධනය කොට පවත්වාගෙනවිත් තිබෙනවා.

Author

Related Posts