සාම්පූර්වලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි ! කැණීම් කටයුතු හෙට සිට ආරම්භ කරන්න අධිකරණයෙන් නියෝග

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් හි ළමා උද්‍යානයක් ආශ්‍රිත ව බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි, බ්‍රිතාන්‍ය බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් වන Mine Action Group (MAG) හි සේවකයින් හට ඉකුත් ජූලි 20 වන දින මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇතැයි වාර්තා වනවා.

කෙසේ නමුත් ආරංචි මාර්ග විසින් සඳහන් කරනුයේ, සාම්පූර් වෙරළට ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා සිදු වූ බවට සැලකෙන ස්ථානයක් වන බවත්, 1990 ජූලි 7 ශ්‍රී ලංකා රාජ්‍ය හමුදා විසින් කාන්තාවන් සහ ළමුන් ද ඇතුළුව අවම වශයෙන් දෙමළ සිවිල් වැසියන් 57 දෙනෙකු වෙඩි තබා කපා කොටා සමූල ඝාතනය කරන ලදැයි සැලකෙන ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් මෙම අස්ථි කොටස් හමු වී ඇති බවත් ය.

මෙසේ සොයා ගනු ලැබූ අස්ථි කොටස් අතර, මිනිස් හිස් කබලක කොටස් සහ පාදවල අස්ථි ඇතුළු අස්ථි කොටස් තිබී ඇති අතර, එම සේවකයන් විසින් මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව මුතූර් මහේස්ත්‍රාත් එම්. එම්. නස්ලීම් අදාළ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණයක් සිදු කර, වැඩිදුර විමර්ශන හා කැණීම් කටයුතු සඳහා හෙට (23) දක්වා සියලු බෝම්බ නිෂ්කාශන ක්‍රියාවලින් අත්හිටවීමට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව සිදු කිරීමට නියමිත කැණීමෙන් අනතුරුව මේ සම්බන්ධ වැඩිදුර අධිකරණ වෛද්‍ය සහ නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි සැලකෙන්නේ.

Author

Related Posts