රෝස කැකුල’ විසිකල උන් කවුද?

ධනංජය කරුණාරත්න

අර වෙළකින් හමුවුණ සිඟිති දරුවාගේ සිද්ධියෙන් කම්පනය වෙලා තියෙන සමාජය ඇමතීමට මේක සුදුසු අවස්ථාවක් කියලා හිතුණා.

කසාද බඳින්නට පෙර ඇසුර නිසා හමුවුන දරුවන් තැන් තැන්වල දමායාම, සමහර අවස්ථාවල මරා දැමීම, විදේශිකයින්ට විකිණීම, ආදිය කාලයක ඉදන් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සාමාන්‍ය තත්වයක්. ඒ වගේම එවැනි අවස්ථාවලට පත්වූ අය විසින් කැමැත්තෙන්, අකමැත්තෙන් සහ බල කිරීම් ආදිය මත කරගන්නා නීති විරෝධී ගබ්සා වල වාර්තාව ද දිනපතා වැඩිවෙමින් එනවා. මෙවැනි දේවල් නිසා සිදුවන සියදිවි නසා ගැනීම් සහ ප්‍රචණ්ඩ සිදුවීම් වල වාර්තාවද සුළු පටු නොවන බව අපි දන්නවා.

මේ අපරාධ කරන බොහෝ අයගේ පසුබිම් විමසනකොට, දරුවෙක් හැදීමට ඇති ආර්ථික දුෂ්කරතාවලට වඩා ඊට හේතු වන්නේ පිළිගන්නා සම්මතයෙන් බැහැර ලෙස සලකන සම්බන්ධතා සහ දරු උපත් කෙරෙහි සමාජයේ ඇති දැඩි පිළිකුල, අප්‍රසාදය සහ පීඩනය බව පේනවා. ඒ සම්බන්ධව ගොඩනැගී ඇති සමාජ දෘෂ්ටිවාදයට, සමහර යල්පැන ගිය නීති රීති ද ඇතුළුව, ඔවුන්ට මුහුණ දීමට ධෛර්යය නැති වීම මීට ප්‍රධාන හේතුවයි. සමාජය විසින් දෙන මේ පීඩනය කෙතරම් බලවත්ද එතරම්ම ඊට මුහුණ දීමට කෲරත්වය අවශ්‍යයි.

සමාජය විසින් යෝජනා කරන යල් පැන ගිය අවවාද සහ සුචරිතවාදයද එන්නේ මෙම දෘෂ්ටිවාදය නඩත්තු කිරීම හරහායි. කොන්ඩම් දාන්න බැරිද? බඳිනකන් ඉන්න බැරිද ?( පූජකයින්, දෙමාපියන් සහ ගමේ උන් කියන විදියට සෙක්ස් කිරීම), හරි සහකරුවා තෝරගන්න දන්නැද්? ඉගෙන ගෙන ඉවර වෙනකන් ඉන්න බැරිද?, එක ගැහැණියෙක් හෝ මිනිහෙක් එක්ක විතරක් මැරෙනකම්ම සෙක්ස් කරන්න බැරිද? මේ අවබෝධ, අනුශාසනා සහ ප්‍රශ්න එකක්වත් පොදුවේ මනුෂ්‍යයාගේ යථාර්ථය සම්බන්ධයෙන්වත් අද වර්තමාන සමාජයේ සංකීර්ණත්වය සම්බන්ධයෙන්වත් ප්‍රායෝගික සහ බුද්ධිගෝචර එවා නොවේ.

මේ වගේ අපරාධයක් කරන්නේ ඇයි වැනි ප්‍රශ්නද අහන අය තේරුම් ගත යුත්තේ කෙනෙකුට යම්කිසි පීඩනයක් දරා ගැනීමේ හැකියාව, මානසික බිඳවැටීමකදී ගතයුතු නිවැරදිම තීරණ එහි සීමාවන් ආදිය තවත් කෙනෙකුට යෝජනා කරන්න බැරි තරම් සංකීර්ණතා වලින් යුක්ත බවයි.

එම නිසා මෙවැනි අපරාධ සිදුවීම පිටුපස ප්‍රධාන භූමිකාවක් කරන්නේ ඊට පීඩනය හදන දෘෂ්ටිවාදය නඩත්තු කරන අයයි. ශ්‍රී ලංකාවේ සමහර ප්‍රසිද්ධ නිළියන් සහ ගායිකාවන්ගේ දරුවන්ගේ ජාතක පියා පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශන සහ උසුළු විසුලු වලින් විනෝද වන්නන් ආදිය ද සහයෝගය දක්වන්නේ මෙම අපරාධවලට පසුබිම හැදීමේ පීඩාකාරී දෘෂ්ටිවාදයටයි.

බොහෝ විට කසාදය සහ ගැහැනි- මිනිහා පවුල පරමාදර්ශ කොටගෙන හැදුන සදාචාර මිනුම් දඬුවලින් තවමත් මනුෂ්‍ය සම්බන්ධතා මනින මෙම පැරැණි ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. සංකීර්ණ සමාජයක මිනිසුන්ගේ මානුෂික වුවමනා එපාකම් වලට, විවිධ සදාචාර්යයන්ට ගරු කරන වඩා නිදහස් බහු සංස්කෘතික සමාජයක් කරා මේ සමාජය වෙනස්ව යා යුතුයි.

(මෙහි එන ඡායාරූපය සංකේතයක් පමණි.)

Author

Related Posts