මහජන ආරක්ෂක අමාත්‍යාශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂ ශානි අබේසේකර යන දෙදෙනා අදාළ තනතුරු සඳහා පත්කරන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කිසිම අවස්ථාවක එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයකින් සිදුනොකළ බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.
අද (21) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වූ විගස, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාරුකර යවා තිබූ නිලධාරීන් යළිත් එම විමර්ශන සඳහා පත්කරන ලෙස ඉල්ලීමක් කළ බව සිරිල් ගාමිණි පියතුමන් මෙහිදී සඳහන් කර සිටියා.
එහෙත්, පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ, කිසිදු අවස්ථාවක නම් වශයෙන් සඳහන් කර රවී සෙනවිරත්න හෝ ශානි අබේසේකර හෝ වෙනත් අයෙකුගේ හෝ එම තනතුරු සඳහා පත්කළ යුතු බවට කිසිම අවස්ථාවක කාදිනල් හිමිපාණන් ඉල්ලීම් සිදුනොකළ බවයි.
ඒ අනුව මෙහිදී පියතුමන් අවධාරණය කර සිටියේ, රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල් හිමිපාණන්ට හෝ කතෝලික සභාවට අවශ්‍යතාවයක් නොමැති බවයි.
