ලංකාවේ සමුපකාර සමිති 16,000 ක් හරහා ක්‍රියාත්මක වන මූල්‍ය සමුපකාර සමිති 14,000 ක ලක්ෂ 65 කට අධික සාමාජිකයන්ගේ ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් පමණ වටිනා මුදල් සහ සම්පත් කොල්ලයකට ජාතික ජන බලවේග ආණ්ඩුව සැරසෙන බව සම්පත් කළමනාකරණ සමුපකාර මහා සංගමයේ කොළඹ දිස්ත්‍රික් සමිති සංගමයේ සභාපති ඩැනිසන් වීරසූරිය මහතා පවසන බව අද ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික හිටපු රාජ්‍ය මුදල් අධ්‍යක්ෂවරයෙකු ද වන ඩැනිසන් වීරසූරිය මහතා මව්බිම පුවත්පත හමුවේ පවසා ඇත්තේ, 2025.07.15 දින වර්තමාන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් දුප්පත් ගැමියාගේ මූල්‍ය සමූපකාර සමිති මරා දමන්නට සියලු කටයුතු සූදානම් වෙමින් සිටින බවයි.
වාණිජ බැංකුවලින් ණය මුදලක් ලබා ගැනීම සඳහා වන ඇප සුරැකුම් සොයා ගැනීමට පොහොසත් නොවන ජනතාව තම මුදල් ගනුදෙනු සඳහා ගොඩනඟා ගත් සමුපකාර බැංකු මරා දැමීම සඳහා වන පළමු අමාත්‍ය මණ්ඩල සංදේශය නිකුත් කරන ලද්දේ රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් 2023.08.24 දින බවත්, තමන් විසින් දරන ලද උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස එම අමාත්‍ය මණ්ඩල සංදේශය ක්‍රියාත්මක කිරීම වළක්වා ගත හැකි වූ බවත් ඒ මහතා පවසා සිටියා.
කෙසේ නමුත්, 2025.07.15 දින නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් වර්තමාන වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ කොටස් කිහිපයක් ම අවලංගු කිරීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට හා රජයට අතිශයින් ම ස්තුතිවන්ත වන බව ද ඒ මහතා පවසා සිටියා.
කෙසේ නමුත් එම අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් යෝජනා කර ඇති තීරණාත්මක කරුණ වන වාණිජ බැංකුවකින් ණය මුදල් ගැනීමට සමත්කමක් නැති බහුතර පොදු ජනතාවගේ බැංකු මරා දැමීම නව කැබිනට් පත්‍රිකාව මඟින් ද ඒ ලෙස ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය වසන්ත සමරසිංහ ප්රමුඛ රජය සහ ආණ්ඩුව පියවර ගෙන ඇති බව ඒ මහතා අවධාරණය කරමින් කියා සිටියා.
