රුපියල් ලක්ෂ 75කට ආසන්න මුදලක් මූල්‍ය වංචා කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි විශ්‍රාමික හිටපු වැඩබලන පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් නො පැමිණි බව අද දෙරණ වෙත ප්‍රකාශ කර තිබෙනවා.
රොහාන් ප්‍රේමරත්නගේ නිවසට අල්ලස් නිලධාරීන් ඇතුළු වී ඔහු රැඳී සිටි ස්ථාන කිහිපයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පවසමින් ඔහු තමා මේ වනවිටත් නිවසේ රැඳී සිටින බවයි පවසා ඇත්තේ.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කරමින් සිටිය දී මෙම චෝදනාවලට නතු වූ රොහාන් ප්‍රේමරත්න පසුව 2024 වර්ෂයේ රනිල් පාලන සමයේ ටිරාන් අලස් පොලිස් ඇමතිවරයා ව සිටිය දී දේශබන්දු තෙන්නකෝන් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර වැඩබලන පොලිස්පති ලෙස එම චෝදනා තිබිය දී ම පත් කරනු ලැබුවා.
කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකණයේ විභාග වෙමින් පවතින 47361/05/21 යන නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් උසාවි භාරයේ තිබූ රුපියල් ලක්ෂ 75,43,110ක මුදල එම නඩුවේ සැකකරුවන් වූ උමර් හා ඉල්හාම් යන සැකකරුවන්ට නැවත ලබා දීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කළේය යන චෝදනාව මතයි ඔහුට එරෙහිව මෙම විමර්ශන සිදුවෙමින් පවතින්නේ.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් මහතාට ලැබුණු නිර්නාමික පැමිණිල්ලට අදාල ව විමර්ශන කටයුතු සිදු කිරීමට එවක පොලිස්පතිවරයා වූ චන්දන වික්‍රමරත්නට නියෝග කර තිබූ අතර, පොලිස්පතිවරයා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා
ඒ අනුව එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර කළ අතර, එහි දී පොලිස් අධිකාරී ලෝරන්ස් යටතේ සිදු කළ විමර්ශනයේ වාර්තාව මගින් හෙළිවුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරය දැරූ රොහාන් ප්‍රේමරත්න මෙම සිදුවීමට අදාල ව වරදක් සිදු කර ඇති බවයි.
කෙසේ නමුත්, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න එම වාර්තාව වෙනස් කර තිබූ අතර, විමර්ශනයට අදාළ ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බී 75416/01/27 අංකය යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න විසින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණ විමර්ශනයක් සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබූ අතර, ඒ අනුව අධිකරණ නියෝගය මත අදාළ සිදුවීම ගැන විමර්ශනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බාර දී තිබුණා.
ඒ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වශයෙන් රාජකාරි කරන ලද කාලය තුළ සිදු කරන ලද වංචා සහ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් මෙම අනාවරණය වී ඇති දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියෝග කරනු ලබන ඉල්ලීම.’ යනුවෙනුයි.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අප වෙබ් අඩවියෙන් හා Satahan Radio අපගේ යූටියුබ් අවකාශය හරහා බලාපෛාරොත්තුවන්න.
