විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අවස්ථා වැඩි කිරීම සඳහා පුහුණු විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන් ප්‍රමාණය වැඩි කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් වී ඇති පසුබිමක, සිංහල සහ දෙමළ මාධ්‍ය පාඨමාලා සහිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් එම ක්ෂේත්රය සඳහා ගුරුවරුන් පුහුණුව සඳහා බඳවා ගැනීම කප්පාදු කිරීමට අදාළ විද්‍යා පීඨ කටයුතු කරන්නේ ඇයි ද යන්න සොයා බැලීමට රජයේ අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා පවසනවා.
ලංකා ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා පවසන්නේ රට පුරා විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන් වෙනුවෙන් ගුරුවරු හිඟයක් පවතින පසුබිමක් තුළ මෙම කප්පාදු කිරීම් දිගින් දිගටම වසර ගණනාවක් පුරා සිදු ව ඇති බවයි.
ඇතැම් පළාත්වල විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරු නොමැති ව තරමට ම මෙම පුරප්පාඩු තීව්ර වී ඇති බවත්, මෙවැනි බරපතළ හිඟයක් ඇති වීම සම්බන්ධව කාලීන වශයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.
එහි දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා “විශේෂ අධ්‍යාපන විෂය සඳහා පුහුණු විශේෂඥ ගුරුවරුන් සඳහා වෙන්වුණු පාඨමාලා තිබෙන්නේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ තුනක පමණයි. සිංහල මාධ්‍යයෙන් මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිංහල මාධ්‍ය පාඨමාලාත්, අඩ්ඩාලච්චේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙමළ මාධ්‍ය පාඨමාලාවත් පවත්වනවා. ඒ වගේ ම උපාධිධාරී ගුරුවරුනුත් ක්ෂේත්රයට බඳවා ගෙන පුහුණුවීම් ලබා දිය හැකියි. විශේෂ අධ්‍යාපන ගුරුවරුන් පළාත් සභා මට්ටමින් සහ මධ්‍යම රජය යටතේ බඳවා ගත හැකියි. ඊට අදාළ නීති හදලා ඉවරයි. ඒත් විශේෂ අධ්‍යාපන විෂයට ගුරු හිඟය උග්‍රයි” යනුවෙන් අදහස් දක්වා සිටියා.
“මේ අතර බුද්ධි වර්ධන ඌනතා සහිත දරුවන්ට උගන්වන්න විශේෂයෙන් පුහුණු වුණ ගුරුවරුන්ගේ ද හිඟයක් තිබෙනවා. මේ සියලු දේ ගැන රජයේ අවධානය යොමු වී තිබෙන්නේ. විද්‍යාපීඨවලින් විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන් බිහි කරනවා වගේ ම සාමාන්‍ය ගුරුවරුන්ටත් මේ කුසලතාව පුහුණු කරන පාඨමාලා නිර්මාණය කරන්න රජයේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ තත්ත්වය තුළ විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන්ගේ පුරප්පාඩු ඇති විය යුතු නෑ. මේ ක්‍රියාවලිය යම් තැනක කඩාකප්පල් වෙනවා නම් ඒ සම්බන්ධව අපි දැඩි අවධානයකින් සොයා බලනවා.” යනුවෙන් අවසාන වශයෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.
