නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දියයුතුයි- ජූඩ් පියතුමා, ඒක කතෝලික සභාවේ මතය නෙවෙයි- සිරිල් ගාමිණී පියතුමා 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහි විනය පියවර ගැනීම සතුටු වන නමුත් අවශ්‍ය වන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත අපරාධ නඩු පැවරීම බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසයි.
අද (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මේ පිළිබඳව අදහස් පල කළා.

2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් නෙරපීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කරන ලදී.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ඔහුට එරෙහිව කරන ලද විනය පරීක්ෂණයේදී චෝදනා පත්‍රයේ වූ සියලු චෝදනා වලට වරදකරු වීම නිසාවෙනි.

එම තීරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කිරීමට කතෝලික සභාව ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ නිලන්ත ජයවර්ධන ප්‍රධාන සැක කරුවෙක් බවත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවුරුදු 6ක් තිස්සේ රජයන් 3කට ඉල්ලීම් කළ බවත්ය. බුද්ධි අංශ ප්‍රධානියෙක් තමන්ට තොරතුරු ලැබී තිබියදීත් එම තොරතුරු නිසි කළමනාකරණයක් නැතිව කටයුතු කිරීම තමන්ගේ හැඟීම අනුව ජීවිතාන්තය දක්වා නොව මරණ දඬුවම දියයුතු බව ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය.

මෙහිදී සිරිල් ගාමිණී පියතුමන් විසින් අද පැවති මාධ්‍ය හමුවේදී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳව යලි පැහැදිලි කිරීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ විනය ක්‍රියාමාර්ග ගෙන ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සතුටු වන නමුත්, ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයේ ඇත්තේ නිලන්ත ජයවර්ධනට විරුද්ධව දණ්ඩනීති සංග්‍රහයේ තිබෙන ප්‍රතිපාදන වලට අනුව අපරාධ නඩුවක් පැවරිය යුතුය යන්නයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ එම නිර්දේශය පමණක් නොව සියලු නිර්දේශ ක්‍රියාත්මක කල යුතු බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් ඊයේ දින මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද සිරිල් ගාමිණී පියතුමා අදහස් දැක්වීය.

”ජූඩ් පියතුමන් කියන්නේ තමන්ගේ මතයට අනුව මරන දඩුවම දිය යුතුයි කියලා. ඒක කතෝලික සභාවේ මතය නෙවෙයි. දඩුවම් දීම අධිකරණයේ කටයුක්තක්. අපේ උවමනාව සත්‍ය සෙවීම. අධිකරණය තමයි දෙන දඩුවම තීරණය කරන්නේ. විශ්ව කතෝලික සභාව මරණ දඩුවම ප්‍රතික්ෂේප කරනවා. ජූඩ් පියතුමා දැන් ඉන්නේ නුවර. උන්වහන්සේ මට කතාකරලා කිව්වා ඒක නිවැරදි කරන්න කියලා.”

Author

Related Posts