කුසගින්නෙන් පෙළෙන සිවිල් වැසියන් 67 දෙනෙක්ව ඊශ්‍රායල හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරයි… සාගතය නිසා දිනකට 18 දෙනෙක් මිය යයි…
එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර බලාපොරොත්තුවෙන් උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කර ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසයි.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවසුවේ, මානුෂීය ආධාර රැගත් එහි ට්‍රක් රථ 25 ක රථ පෙළ එම ප්‍රදේශයට ළඟා වෙද්දී වෙඩි වැදීමට ලක්වූ “වෙඩි තැබීම්වලට ලක් වූ කුසගින්නෙන් පෙළෙන සිවිල් වැසියන් බොහෝ ප්‍රමාණයක්” හමු වූ බවයි. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ “ක්ෂණික තර්ජනයක්” ඉවත් කිරීම සඳහා “අනතුරු ඇඟවීමේ වෙඩි” තැබීමක් සිදුකළ බවයි.
ගාසා තීරයේ ජීවත්වන දහස් ගණනක් වූ සිවිල් වැසියන්ට ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසයි. “ශරීර වැහැරී ගිය දුර්වල වී ඇති සිය ගණනක් ජනයා කුසගින්න නිසා මරණයට පත්වීමේ අවදානමක් ඇති බව අපි අනතුරු අඟවමු,” යනුවෙන් එහි සඳහන් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ගාසා තීරයේ සිවිල් වැසියන් කුසගින්නේ සිටින බව පවසා ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
ඊයේ ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූ පරිදි පසුගිය පැය 24 තුළ “සාගතය හේතුවෙන්” මරණ 18 ක් වාර්තා වී ඇති බවයි.
උතුරු ගාසා තීරයෙන් තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකු ගාසා නගරයේ ෂිෆා රෝහලට ඇතුළත් කර ඇති අතර එහි වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හසන් අල්-ෂෙයාර් ඊයේ පැවසුවේ පැවසුවේ එහි පහසුකම්ද අවසන් වෙමින් පවතින බවයි.
එක් කාන්තාවක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පැවසුවේ “මුළු ජනගහනයම මිය යමින් සිටිති” යනුවෙනි. “කෑමට කිසිවක් නොමැති නිසා, ළමුන් කුසගින්නෙන් මිය යති. මිනිසුන් ජලය සහ ලුණු පමණක් පානය කරමින් ජීවත් වෙති,” ඇය වැඩිදුරටත් පවසා ඇත.
මේ ලෝකයේ මානව හිමිකම් සංවිධාන යනුවෙන් කිසිවක් නොමැත. මානව හිමිකම් යන්වෙන් කිසිවක්ද යථාර්ථයේ පෙනෙන්ට නැත. ඒවා සියල්ල ලෝක බලවතුන් යයි කියා ගන්නා රටවලට අදාළ නැත. ඒවාද ගෝලීය බල දේශපාලනයේ අධිරාජ්‍යවාදී සහ යුධවාදී මිලේච්ඡයන්ගේ යටතේ මොනා හෝ කරමින් ඉන්න සංවිධාන බවට පත් වී ඇත. ඒ සංවිධාන විසින් වාර්ෂිකව එලි දක්වන වාර්තා ඒ සංවිධාන විසින්ම කයිවාරු ගැසීමට තියා ගන්නා සත පහකට වැඩක් නැති කඩදහි කොළ බවට පත්ව ඇත. ජන ඝාතක යුද්ධ යනු ඔවුන්ට තවත් ප්‍රොජෙක්ට් කීපයකට ප්‍රපෝසල් පමණක් වෙමින් පවතී. කයිවාරු ගැසීමට පරණ නමුත් අලුත් විදිහට එන මාතෘකා පමණක් වී ඇත.
