කාණුවකට ජාත්‍යන්තර සම්මානයක්… මොකක්ද මේ ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ Smart කාණුව කියන්නේ?

නව නිපැයුම් වලින් ලංකාවේ නම ලෝකයේ ඉහළින්ම තබමින් ආචාර්ය නදීශා චන්ද්‍රසේන විසින් ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ Smart කාණුව නිර්මාණය කර 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය (WIPO Global Awards 2025) හිමි කර ගැනීමට සමත් විය. මෙලෙස ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කියූ නදීශා චන්ද්‍රසේන ඊයේ (19) දින ලංකාවට පැමිණියා.

සෞඛ්‍යය, දේශගුණය, කෘෂි ආහාර, නිර්මාණාත්මක කර්මාන්ත සහ ICT යන ක්ෂේත්‍රවල ලොව වෙනස්වන නවෝත්පාදන සඳහා සම්මාන පිරිනමන මෙම සම්මාන උළෙල මගින් රටවල් 95 ක් පුරා වාර්තාගත අයදුම්පත් 780 කින් තෝරාගත් මෙම වසරේ ජයග්‍රාහකයින් 10 දෙනකු සඳහා සම්මාන පිරිනමා ඇත. මෙහිදී Smart Drain – Urban Inventors සඳහා ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන විසින් සම්මානයක් ජයග්‍රහණය කර ඇත.

වැසි දින වලදී විශේෂයෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව කාණු පද්ධති, විවිධ අපද්‍රව්‍ය හිර වීම හේතුවෙන් ජලය බැස නොයන අතර නිතර ජල ගැලීම් ඇති වන තත්වයක් දක්නට ලැබේ. මෙම ගැටළු සඳහා විසඳුමක් ලෙස නදීශා චන්ද්‍රසේන විසින් මෙම Smart Drain පද්ධතිය නිර්මාණය කර ඇත.

මෙම Smart තට්ටු දෙකේ කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් වෙන් කරනු ලබන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යාමට ඉඩ සළසයි.

ඒ අනුව මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව මගින් වැසි වතුර හේතුවෙන් මාර්ග ජලයෙන් යට වීම සහ ගැන වතුර තත්වයන් ඇතිවීම පාලනයට ඉතා අනර්ඝ සොයා ගැනීමක් වනු ඇත.

දිවයිනට පැමිණි ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙම කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇති බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන,

“එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙන් 2025 අවුරුද්දේ නම් කරන ලද ලෝක බුදධිමය දේපොළ ගොලීය සම්මානය මගේ කණ්ඩායමට හිමි වුණා. එහිදී සම්මානයට පාත්‍ර වුණේ අප කණ්ඩායම විසින් නවෝත්පාදනය කරන ලද සුහුරු කාණුව. ඒක ශ්‍රී ලංකාවේ බුද්ධිමය ආයතය විසින් 2022 වසරේදී පේටන් බලපත්‍රය ලබා දුන් නිර්මාණයක්. සුහුරු කාණුව කියන්නේ නගර ආශ්‍රිතව තියෙන විවෘත කාණු නිතර ජල ගැලීම් වලට ලක්වෙනවා තදබදයට ලක්වෙනවා ප්ලාස්ටික සහ පොලිතින් හිර වෙලා. මේ සුහුරු කාණුවෙන් කරන්නේ ඒ හිර වෙල පොලිතින් සහ ප්ලාස්ටික් පෙරලා අරගෙන වැස්ස වහිනකොට වැහි වතුර දෙවැනි තට්ටුවෙන් ගලාගෙන යන එක. මේක ලෝකයේ පළවෙනි තට්ටු දෙකේ ස්මාර්ට් කාණුව කියලා අපිට හඳුන්වන්න පුළුවන්.”

Author

Related Posts