ගෝඨා ජනපති කාලයේ තර්ජනය කර වෙනස් කරවූ, එක්නැළිගොඩ නඩුවේ මුරලිගේ සාක්ෂිය යළි කැඳවනවාද? තීන්දුව සැප්තැම්බර් 18! මුරලි කවුද?

ෆසීර් මොහොමඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී, සිව්වන සාක්ෂිකරු වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශයේ සේවය කර පසුව හමුදා බුද්ධි අංශය සමඟ එක්ව ක්‍රියා කළ පුනරුත්ථාපනය කරන ලද හිටපු කොටි සාමාජිකයෙකු වන මුරලි නොහොත් සුමතිපාල සුරේෂ්කුමාර්ගෙන් යළි සාක්ෂි සටහන් කර ගන්නවාද නැද්ද න්න පිළිබඳ තීන්දුව සැප්තැම්බර් මස 18 වන දින සලකා බැලීමට නියමිතය.

මුරලි නොහොත් සුමතිපාල සුරේෂ්කුමාර්ට ඔහුගේ සාක්ෂිය වෙනස් කිරීමට පළමු විත්තිකරු ඇතුළු පිරිසක් විසින් තර්ජනය කර ඇති බවට පැවසෙන අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවෙමින් පවතී. මෙම තර්ජනය කිරීම සිදුව තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ වන අතර ගෝඨාගේ ආණ්ඩුවක් තිබෙන බවද තර්ජනය කළ අවස්ථාවේ කියූ බව වාර්තා විය.

සාක්ෂිකරුට තර්ජනය කිරීම පිළිබඳ විමර්ශනය තවමත් අවසන් වී නොමැති නමුත්, එහි පළමු විත්තිකරු සම්බන්ධ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු අධිකරණය සැලකිල්ලට ගත්තේය. ඒ අනුව, මුරලි නොහොත් සුමතිපාල සුරේෂ්කුමාර්ගේ සාක්ෂිය යළි සටහන් කර ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා සැප්තැම්බර් මාසයේ දිනය නියම කර ඇත.

එක්නැලිගොඩ සිද්ධියට අදාළ නඩු විභාගය විනිසුරු නාමල් බලල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහේන් වීරමන් සහ සුජීව නිශංක යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විශේෂ මහාධිකරණ ගොඩනැගිලි සංකීර්ණයේදී ජුලි 18 වැනිදා විභාගයට ගැනිණි.

මෙහිදී එක්නැලිගොඩ සිද්ධියේ විත්තිකරුවන් වන ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් සම්මි අර්ජුන කුමාරරත්න මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, ස්ටාෆ් සාජන්ට් වඩුගේදර විනිප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, ස්ටාෆ් සාජන්ට් ආර්.එම්.පී.කේ. රාජපක්ෂ නොහොත් නාදන්, ස්ටාෆ් සාජන්ට් සෙනවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි, චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කනිෂ්ක කුමාර අබේරත්න, අයිසාමි බාලසුබ්‍රමනියම්, කේ.ජී. තරංග ප්‍රසාද් ගමගේ, එරන්ද පීරිස් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් වන අසිත් සිරිවර්ධන, රසික බාලසූරිය යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා පෙනී සිටියේය.

හතරවන සාක්ෂිකරු වන තර්ජනයට ලක්ව ඇති මුරලි වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් මහතා පෙනී සිටියේය.

මෙහිදී නඩුවේ නයන තුෂාරා ජයසේකර නමැති ගුරුවරියකගේ සාක්ෂිය සටහන් කර ගැනිණි. මොරටුව ප්‍රදේශයේ පදිංචි ඇගේ නිවස පසුගිය 2015 සැප්තැම්බර් මස පළමු වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි කර යම් ලිපි ලේඛන සොයා ගත් බවත්, ඇගේ සැමියා හමුදාවේ සේවය කළ අයෙකු බවත්, සෝදිසි කිරීම සිදුවන විට සැමියාද නිවසේ සිටි බවත් අදාළ සාක්ෂිකාරිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂි දුන්නාය.

අදාළ සෝදිසි කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ලේඛන 3ක් මෙහිදී සාක්ෂි ලෙස අධිකරණයේ සටහන් විය. ‘ඔපරේෂන් ඩබල් එජ්’ නමැති ලේඛනය ඇතුළු ලේඛන තුනක් මෙලෙස අධිකරණයේ සාක්ෂි ලෙස සටහන් වූ අතර, සිය සැමියා හමුදාවේ සිටින විට හමුදා සම්බන්ධ ලිපි ලේඛන නිවසට රැගෙන ඒම සාමාන්‍ය දෙයක් බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

මෙම තත්ත්වය තුළ, සාක්ෂි විමසීම් සඳහා අදාළ නඩුව ලබන අගෝස්තු මස 29 වන දින යළි විභාගයට ගැනීමට නියමිත අතර එදිනට 48, 65, 72 යන අංක දරන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතය. ඒ සඳහා ඔවුන්ට එදිනට අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දීමක් යවා ඇත.

2010 ජනවාරි 24 සහ 27 යන කාලය තුළ ගිරිතලේ, කොස්වත්ත සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලදී, තමන්ට සම්බන්ධයක් නොමැති පුද්ගලයන් සමඟ එක්ව ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව රහසිගතව සිරගත කිරීමේ අරමුණින් පැහැරගෙන යාම, ඔහුට මරණය සිදුකිරීම සම්බන්ධයෙන්, විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයේ චෝදනා එල්ල වී ඇති බව සඳහන් කළ යුතුය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading