මැදගොඩ අභයතිස්සලා දැන් මොකද කියන්නේ?? පාසල් දැරිවියන් ගැබ් ගැනීම් ඉහළ යයි…

පාසල් දැරිවියන් ගැබ් ගැනීම් මෑත කාලීනව ඉහළ යාමක් දක්නට ලැබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් අද (18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා ඇත.

පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බව ඇය වැඩි දුරටත් කියා සිටියා.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර නව යොවුන් දැරිවියන් සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධව වඩාත් හොඳ පැහැදිළි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයිද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවාය.

මෑතකදි ගත්තොත් අපේ පාසල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වයස 18ට අඩු දරුවන් ගැබ් ගැනීම නිසා මේ වින්දිතභාවයට පත්වන දරුවන්ගේ සංකූලතා පවා තිබෙනවා. මේ තත්ත්වයන් එක්ක ඉදිරි සමාජයේදී මව්පිය රැකවරණය අහිමි නොයෙකුත් සංකූලතාවන්ට මුහුණ දෙන ඒ වගේම අත්හල සහ අනාත දරුවන් බිහිවීම වළක්වා ගැනීම සඳහා තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. 

අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ නව යොවුන් දැරිවියන්ට, නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්දව හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුයි කියන එක. 

මේ ලොකේට දරුවෙකු බිහි කරාට පස්සේ ඒකේ පූර්ණ වගකීම ගැහැණියකට, කාන්තාවකට විතරක් නෙමේ තියන්නේ හැබැයි සමාජයේ අනාත හෝ අත්හල දරුවෙකු හැටියට දාලා යන එකේ පාපය, සාපය හා සමාජ දෝශාරෝපණය සහ වින්දිතභාවට පත්වෙන්නේ ගැහැණියකට, දරුවෙකුට ඒ නිසා ඔබට දෙන්න තියන පළවෙනි උපදේශය තමයි ඔබට සබඳතා පවත්වන්න පුළුවන් නමුත් ඔබට වගකීම් සහගතව පවුල් බැඳියාව තුළ දරුවෙකු බිහිකරන්න නොහැකි නම් ගර්භාෂයට ආවට පස්සේ කළලය නැති කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඒ නිසා ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඒ හැර මේ දරුවන් අනාත හෝ අත්හලභාවයට පත් කරලා වින්දිත දරුවන් හැටියට සමාජයට අතහැර දමන්න එපා..”

2019 වසරේදී එවකට අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව හත ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් “හතේ අපේ පොත” නමින් පොතක් මුද්‍රණය කර පාසල් සිසුන්ට බෙදා හැරීමට තීරණයක් ගන්න ලදී. නමුත් මැදගොඩ අභයතිස්ස වැනි අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ මෙම විෂයන් සම්බන්ධයෙන් මෙලෝ අවබෝධයක් නැති පිරිස් විසින් මෙම පොතට එරෙහිව දැඩි ලෙස විරුද්ධ විය. මැදගොඩ අභයතිස්ස විසින් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ‘හතේ අපේ පොත’ ළමා මනස දූෂණය කරන්නක් වන බවය.
‘හතේ අපේ පොත’ කුඩා දරුවන්ට තබා වැඩිහිටියන්ට හෝ කියවිය නොහැකි තරමේ අසභ්‍ය වචන අඩංගු කෘතියක් වන බවත්, මෙය සාමාන්‍ය සිදුවීමක් නොව, රටේ දරු පරපුරට සංකර ගති පුරුදු කිරීම සඳහා ගෙන යන සංවිධානාත්මක වැඩ පිළිවෙලක් වන බවත් මැදගොඩ අභයතිස්ස විසින් කියා සිටියා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් විසින් පාසැල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ඉහල යාම සම්බන්ධ ප්‍රකාශය අතිශය බරපතල කාරණයකි. ලිංගික අධ්‍යාපනය පිළිබඳව මිඩ් වයිෆ් කියාදෙන්න කලින් පාසල් අධ්‍යාපනයට අනිවාර්යයෙන් එකතු කළ යුතු විෂයකි. ලිංගිකත්වය කිස් සේත්ම අදාළ නැති ගිහි ගෙය හැර ගිය අභයතිස්සලාට රටේ අධ්‍යාපනය, දරුවන් සහ සෞඛ්‍ය ගැන තීරණ ගන්නට සහ ප්‍රතිපත්ති ගැන දෙසන්නට රජය ඉඩ දෙන්නේ නම් එවැනි පාලකයන් අභයතිස්සලාට වඩා මේ පිළිබඳව නූගත්ය.

මිනිස් සිරුරේ සිදු වන විශ්මිත් වෙනස් කම් පිළිබඳව දරුවන් ඉතා සංවේදීය. එසේම ඔවුන් ජිවත් වන්නේ ලිංගිකත්වය වැනි කාරණා සංස්කෘතික පෙට්ටිවල දමා වසා තබා හැඟීම් උද්දීපනය කරන පරිභෝජනවාදී සමාජයකය. මෙහි ගැටලුව ඇත්තේ හැඟීම් උද්දීපනය නොවේ ඒ පිළිබඳව වන අවබෝධය සහ පාසල් යන වයසේදී ගැබ් ගැනීම් සිදු වීම වැලැක්වීම සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙලක් සකස් කිරීමය. රජයද නිශ්චිතව මේ වැනි සමාජ ගැටළු සඳහා වගකිවයුතු අතර ආගමික පූජකයන්ගේන් හෝ අත්හැරීම ප්‍රගුණ කරන්න ගිය අයගෙන් සමාජයට කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති කතා නොඅසා මේ පියවර ගත යුතුය. අභයතිස්සලාගේ බණ දරුවන්ගෙන් සහ අවිචාරවත් දෙමව්පියන්ගේ ඈත් කර තැබීම මේ සමාජයට ඉතා වැදගත් වනු ඇත.
දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමට විරුද්ධ වන සංඝ සමාජය ඇතුළු සියළු පසුගාමී නූගතුන් මෙලෙස ළමා ගැබ් ගැනීම් ඉහළ යාම කෙරෙහි වග කිව යුතුය. එවැනි සංස්කෘතික වහලුන්ට එරෙහිව සමාජයක් ලෙසම එරෙහි විය යුතු අතර සමාජය තුළ අවිචාරවත් සහ මිත්‍යා මත පැතිරවීමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය.

Author

Related Posts