ජනාධිපතිවරයාට පමණක් මින් පෙර හිමිව තිබූ මුක්තිය අද වන විට මාලිමා ආණ්ඩුවට ගෑවුණු කෙනෙක්වත් අත්අඩංගුවට නොගන්නා අමුතු මුක්තියක් බවට පත්ව තිබෙන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.
දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අමාත්‍යවරයා, ගල්කිස්ස අධිකරණයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇතත් මේ වන තුරුත් නිදැල්ලේ පසුවන බවට ඔහු චෝදනා කර සිටියා.
රේගුව නිසි පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය, අල්ලස් කොමිසමට ගොනුකළ පැමිණිල්ල පිළිබඳව යළි සිහිපත් කිරීමේ ලිපියක් එම කොමිසමට ඊයේ (17) භාර දීමෙන් පසුව ඔහු මේ බව සඳහන් කළා.
නීති විරෝධී ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බිමල් රත්නායක ඇමතිවරයා ද තවමත් නිදැල්ලේ සිටින බව ද පැවසු ගම්මන්පිල මහතා,
“අපි අල්ලස් කොමිසමට ආවේ අරමුණු දෙකකට. කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ මහා වංචාව පිළිබඳව අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ සංස්කෘතික ලේකම් ශිරන්ත ජයලත් අල්ලස් කොමිසමට ජුනි 2 වන දා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මාස එකහමාරක් ගතවී තිබුණත් ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිම ප්‍රගතියක් දැක්කේ නෑ. බිමල් රත්නායක අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මේ වංචාවට ඍජුවම වගකිව යුතුයි කියලා අපි මේ පැමිණිල්ලේදී සාක්ෂි සහිතව ම පෙන්වා දුන්නා. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලිඛිතව ප්‍රකාශ කරලා තියෙනවා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ නියෝගය මත තමන් කටයුතු කළා කියලා. නමුත් බිමල් රත්නායක අමාත්‍යවරයාට එවැනි නියෝගයක් ලබා දෙන්න නීතිමය බලයක් නෑ.
අල්ලස් කොමිසම මේ දවස්වල ඉතාම කාර්යබහුලව දූෂකයන් අල්ලන්න, පරණ හොරුන් අල්ලන්න කටයුතු කරගෙන යන නිසා අලුත් හොරු අල්ලන එක අමතක වෙලා වගේ අපිට පේනවා. ඉතිං අපි හිතුවා අපේ වගකීමක් කියලා අල්ලස් කොමිසමට අපේ පැමිණිල්ල යළි සිහිපත් කරන එක.
ලක්ෂ පහළොවකට සුබ පැතීමේ දැන්වීමක් පුවත්පතකින් පළ කිරීමට වඩා, කැරම් බෝඩ් බෙදනවට වඩා, බඩ ඉරිඟු කරලක් බෙදනවාට වඩා මේ බහලුම් 323ක දැවැන්ත වංචාව රටට භයානකයි. බඩඉරිඟු බෙදලා, කැරම්බෝඩ් බෙදලා, දැන්වීම් දාලා විනාශවන මහජන මුදලට වඩා වැඩි මුදලක් මේ කන්ටේනර් 323හි ප්‍රකාශිත භාණ්ඩවලට වඩා වැඩි වටිනාකම් සහිත භාණ්ඩ තිබුණා නම් රජයට අහිමි වෙනවා. ඒ වාගේම රේගු නිලධාරීන් සැක පහළ කරන විදිහට මේවායේ අවි සහ මත්ද්‍රව්‍ය තිබුණා නම් ජාතික ආරක්ෂාවට මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වෙනවා.”
