ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ කාර්යාලය විසින් 16 වෙනිදා බාඳුරාගොඩ, දිවුලපිටිය සහ මීරිගම යන ප්‍රදේශවල විශේෂ වැටලීම් 30 ක් සිදු කර ඇත. එම වැටලීම් අතරතුර සහල් වැඩි මිලට විකිණීම ඇතුළු පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙන්දන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් බැඳුම්කර මත මුදා හැර තිබේ.
ඔවුන්ට විරුද්ධව ඉදිරි දිනයකදී අත්තනගල්ල හා මිනුවන්ගොඩ අධිකරණවල පැමිණිලි ගොනු කිරීමටද පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා සඳහන් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට හා ප්‍රධාන කාර්යාලයේ 1977 කෙටි දුරකථන ඇමතුමට පාරිභෝගිකයින්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම් සිදු කර ඇති අතර වැඩි මිලට සහල් විකිණීම, වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ විකිණීම, SLS ප්‍රමිතියෙන් තොර ආනයනික ආලේපන විකිණීම, තහනම් ආලේපන හා සුවඳ විලවුන් අලෙවිය SLS ප්‍රමිතියෙන් තොර විදුලි උපකරණ අලෙවිය ඇතුළු විවිධ හේතූන් මත නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.
සහල් වැඩි මිලට විකිණීම් සිදු කරන සාමාන්‍ය වෙළෙඳසැල් සඳහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වාත්, වෙළෙඳ සමාගම් සඳහා රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වාත් දඩ නියම කිරීමට හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්තසමරකෝන් මහතාගේ හා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතාගේ මෙහෙය වීමෙන් එම කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර ඇති බව වාර්තා වේ.
