ටීචර් අම්මා පහර දුන්නා යැයි කියූ තරුණයා ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න – මීගමුව මහේස්ත්‍රාත් නියෝග කරයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් පෞද්ගලික උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා සතු ආයතනයක සේවය කළ 24 හැවිරිදි අවිවාහක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ, අත්අඩංගුවට ගනු ලැබූ රිතික් ක්‍රිෂාල් අගලවත්ත නැමැති 19 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර, විමර්ශන ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඊයේ (16) මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට නියෝග කර සිටියා.

කෙසේ නමුත්, අධිකරණය ලබා දුන් නියෝග අනුව එම සැකකරු ඊයේ (16) ප්‍රථම වරට අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහි දී සැකකරු රුපියල් ලක්ෂ පහක ඇප බැඳුම්කරයක් මත නිල වශයෙන් මුදාහරිමිනුයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට මෙම නියෝගය කරනු ලැබුවේ.

ටීචර් අම්මා නැමැති තැනැත්තිය පහර දුන්නේ යැයි කියමින් රෝහල් ගතවී ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටිය දී යි. පොලිසිය විසින් පෙරකී චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු විසින් පසුගිය මැයි 17 වැනිදා ඇප බැඳුම්කරයකට යටත්ව ඔහුව මුදාහැරීමට නියෝග කර තිබුණා.

කෙසේ නමුත් මෙම සැකකරු පසුගිය මැයි 6 වන දින රාත්‍රී 9.30ට පමණ ආයතනයේ ඔහු සේවා කටයුතු සිදු කළ කාමරයේ විදුලිය විසන්ධි කොට ඉන්පිටවන අවස්ථාවේදී තරුණියගේ අතකින් අල්ලා ඔහු වෙත ඇදගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත්, ඒ පිළිබඳව ආයතනයේ බලධාරීන් වෙත අදාළ තරුණිය පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔහුව කැඳවාගෙන පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළත් කටාන පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගැනීමක් හෝ සිදු කර නොමැති බවත් අගතියට පත් තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දෙනු ලැබුවා.

කටාන පොලිසිය ක්‍රියා කළ ආකාරය අනුව තමන්ට සාධාරණයක් ඉටුනොවන බව වටහාගත් අතවරයට ලක්වූ තරුණිය ළමා හා කාන්තා කාර්යාංශයට හා වැඩ බලන පොලිස්පතිවරයාට කළ පැමිණිලි අනුව අදාළ සිද්ධියට සම්බන්ධ විමර්ශන කටාන පොලිසියෙන් ඉවත් කර මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන් කරමින් එම විමර්ශන කඩිනම් කිරීමට නියෝගයක් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ගීත්මා ප්‍රනාන්දු, නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥ රන්ජන් ජයසිංහ පෙනී සිටි අතර පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල් උදය කුමාර යන අය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටිනු ලැබූ අතර, නීතිඥ චාන්දනී දයාරත්න හා නීතිඥ ආශා රත්නායක සහ නීතිඥ මණ්ඩලය අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරනු ලැබුවා.

Author

Related Posts