සයින්දමරුදු ප්‍රහාරය සාක්ෂිකරුවන් මරන්නයි! කරුණු හෙළිකළ වීඩියෝව යූටියුබ් වාරණයකට!

තරිඳු උඩුවරගෙදර

අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදුවලදී එල්ල වූ ප්‍රහාරය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත හැකිව තිබුණු, සහරාන් කණ්ඩායමේ ඉතිරි වූ බෝම්බකරුවන් සහ සාක්ෂ්‍යකරුවන් එක් තැනකට එකතු කොට මරා දැමීමේ සැලසුමක් බව විශ්වාස කිරීමට කරුණු හෙළි වී තිබේ.

මේ පිළිබඳ හෙළි කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය නාළිකාව වන මීඩියාඑල්කේ නාළිකාවේ ජුලි 16 වැනිදා පළ කරන ලද වීඩියෝවක් යූටියුබ් ආයතනයට ලැබුණු පැමිණිල්ලක් මත ඉවත් කර තිබුණි. කෙසේ වෙතත්, එම පැමිණිල්ලට පාදක වූ කොටස ඉවත් කිරිමෙන් පසු එම වීඩියෝව පළ කිරීමට හැකි විය.

එම වීඩියෝවෙන් පෙන්වා දී තිබුණේ මෙම ආන්දෝලනාත්මක සයින්දමරුදු පිපිරීම පිළිබඳවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ 2019 අප්‍රේල් 21 වැනිදායින් දින කිහිපයකට පසු, එනම් අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදුවල නිවෙසක සිදු වූ පිපිරීමෙන් පසු ජනමාධ්‍යවලින් මෙම ප්‍රහාරය විශාල යුද්ධයක් ලෙස හුවා දැක්වීමට හමුදාව කටයුතු කර තිබුණි.

හමුදාව ප්‍රකාශ කරන ආකාරයට මෙම සයින්දමරුදු ප්‍රදේශයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සැක කටයුතු පවුලක් පිළිබඳ තොරතුරු දැනුම් දී තිබේ. එයින් පසු එක් පුද්ගලයෙකු එය පරීක්ෂා කිරීමට ගිය පසු වෙඩි තැබූ බවත්, හමුදාව පැමිණීමෙන් පසු විශාල වෙඩි හුවමාරුවක් සිදු වූ බවත් රාත්‍රියේදී හමුදාව ස්ථානය අත්පත් කරගත් බවත් පසුදින උදෑසන පොලීසිය ස්ථානයට ළඟා වන තුරු හමුදාව භාරයේ සම්පූර්ණ ප්‍රදේශය පැවති බව වාර්තා කර තිබුණි. නිවස අභ්‍යන්තරයෙන් පිපිරීම් දක්නට ලැබුණු බව සඳහන් කර තිබුණි.

එයින් පසු කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. එම වාර්තාවේ සඳහන්ව තිබුණේ මෙසේය.

‘මෙම මෙහෙයුමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් ටී56 ගිනි අවි භාවිතා කර ඉන් මෙහෙයුම් කණ්ඩායමට ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාහැරීමෙන් විනාශය සිදු කරමින් සිට ඇත. ඒ අවස්ථාවේදී හමුදා නිලධාරීන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් මේ වන විට හඳුනා නොගත් මරාගෙන මරෙන බෝම්බකරුවන් බවට සැක කරන ත්‍රස්තවාදීන් 06 දෙනෙකු සහ ඔවුන් විසින් බෝම්බ පුපුරුවාහරින අවසථාවේ ඒ අවට සිටි කාන්තාවන් 04ක්ද කුඩා දරුවන් 06ක් ද මියසේ ඇත. මේ සිද්ධියේදී මිය ගිය 15 දෙනෙකුගේ මෘත දේහයන් සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව මත තබා ඇති අතර එක් මෘත දේහයක් දැනට අම්පාර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.‘

ඒ අනුව 16 දෙනෙකු මියගොස් තිබේ. එහෙත්, අප්‍රේල් 30 වැනිදා අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා බී වාර්තාවක් මගින් වාර්තා කර තිබුණේ මියගිය සංඛ්‍යාව 17ක් බවය. ඒ අනුව කල්මුණේ ප්‍රදේශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ බල ප්‍රදේශයක් වශයෙන් වෙනම මූලස්ථාන පොලීසියක් යටතේ පැවති බල ප්‍රදේශයක සිදුවීම ගැන අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂක කරුණු ඉදිරිපත් කර තිබුණි. දෙවැනි බී වාර්තාවෙන් එක් මරණයක් වැඩි කර තිබුණී.

මුලින් වාර්තා නොවු, පසුව වාර්තාවකින් ඉදිරිපත් කළ වැඩි වූ මරණය සාරා ජැස්මින් ය.

මෙම නිවසට ඇතුළුවන ස්ථානයේ ගේට්ටුව අසල නියාස් නම් පුද්ගලයා මැරී වැටී සිටියේය. ෂයිනි මවුලවි නිවස ඉදිරිපිට එළියේ වැටී සිට ඇත. මේ දෙදෙනාම වෙඩි හුවමාරුවේදී මැරී වැටුණු බව කියා තිබුණි. ඊට අමතරව අනෙක් මරණ නිවස තුළ සහ වහලය මත තිබුණි.

කෙසේ වෙතත් මෙම නිවසේ තාප්පය අසල, ගේට්ටුව අසල සහ තාප්පයේ වෙඩි සලකුණු නොමැත.

රිපෝටර් නියාස්


මෙලෛස තාප්පය අසල මියගොස් සිටියේ රිපෝටර් නියාස් නමැත්තාය. ඔහු හමුදාව සමඟ වැඩ කළ පුද්ගලයෙක් වන අතර වාරඋරෙයිහල් නම් පුවත්පතේ මාධ්‍යවේදියෙක් ලෙසද කලෙක කටයුතු කර ඇත. ඒ අතරේ ඔහු හමුදාවේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.

නියාස් මෙම පුද්ගලයන්ව සයින්දමරුදු නිවසට රැගෙන ගොස් තිබුණු බවට තොරතුරු තිබේ. නියාස් ලවා පුද්ගලයන්ව එකතු කරවාගෙන ඔහුවද මරා දැමූ බවට විශ්වාස කිරීමට තිබේ. හමුදාවට සේවය කළ කෙනෙක් ලෙස හමුදාව විශ්වාස කළ ඔහුව හමුදාව විසින් මරා දමා ඇති බව සිතීමට හේතු ඇත.

ඔහගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහුගේ සිරුරේ තුවාල සහ වෙඩි වැදීම් තුවාල සිදුව ඇත්තේ දුර සිට තැබූ වෙඩි ප්‍රහාරවලින් නොවේ. ළඟ සිට තැබූ වෙඩි ප්‍රහාර මතය.

ෂයිනි, සහරාන්ගේ පියා හෂීම් සහ රිල්වාන්

හාදියාගේ සාක්ෂියේ සඳහන් වෙන්නේ අබුහින්ද් නම් පුද්ගලයාගේ උපදෙස් මත මරාගෙන මැරෙන පුද්ගලයන් සජීවී වීඩියෝවක් ලබා දී තිබේ. ෂයිනි මවුලවි, සහරාන්ගේ පියා සහ රිල්වාන් යන අය සජීවී විකාශයක් සිදු කරමින් තමන් පුපුරුවාගන්නා බව කියා තිබුණි. එම අවස්ථාවේ නියාස් පිටත සිට ඇත. එම අවස්ථාවේ ෂයිනිගේ අත තුවක්කුවක් තිබී ඇත.

ෂයිනි මවුලවි තුවක්කුව සමඟ

පිටත සිටි රිපෝටර් නියාස් අතද ආයුධයක් තිබී ඇති බව හමුදාව කියයි. ඔහු අත තිබුණු ආයුධය හමු වුණත් ෂයිනි අත තිබුණු ආයුධය අතුරුදන්ය.

තමන්ව පුපුරුවාගන්නා බව කීවද ෂයිනි පුපුරුවාගෙන සිටියේ නැත. ෂයිනි යනු පිල්ලෙයාන් සමඟ බන්ධනාගාරගතව සිටියදී සම්බන්ධතා ඇති කරගත් පුද්ගලයාය. ඔහු මෙම සිදුවීමේ ප්‍රධානම සාක්ෂියක් විය හැකිව තිබුණි. බුද්ධි අංශ සම්බන්ධතා ගැන ඔහු තොරතුරු දැන සිටියේය. හාදියාගේ සාක්ෂිය අනුව ෂයිනි පුපුරුවා නොගත් අතර ඔහු පිටත සිට සහරාන්ගේ බිරිඳට පිටතට පැමිණෙන ලෙස කියා තිබේ. ෂයිනිගේ සිරුර පිටතදී හමු වූ නිසා එම සාක්ෂියද තහවුරු වේ. නිවස තුළදී බෝම්බ පිපිරීමෙන් පසු ෂයිනි පණපිටින් සිට ඇත. ඔහු මියගියේ නිවසෙන් පිටතදීය.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට නැගෙනහිර පළාතේ ආඥාපතිවරයා වන්නේ අරුණ ජයසේකරය. ඔහු වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාය. ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකශ කළේ පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශවල සුළු පිරිසක් සම්බන්ධ බවය. මෙම සම්බන්ධතා ගැන දැන සිටි ෂයිනි මෙන්ම නියාස් ඝාතනය කළේ සාක්ෂි යටගැසීමටද යන සැකයක් තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක වූ අතර, පසුකාලීනව ඔවුන් විවිධ ප්‍රදේවල ක්‍රියා කිරීමට පටන් ගෙන තිබුණි. බස්නාහිර පළාතේ කටුවාපිටිය, පානදුර ආදී ප්‍රදේශවලට තුළට පවා බෝම්බ සහ පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පටන් ගෙන තිබුණි. එය හඳුනාගැනීමට හෝ විමර්ශනය ගැනීමට පොලීසිය අසමත් විය. වනාතවිල්ලුවේ ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ පුපුරනද්‍රව්‍ය හමු වුණත් පියවරක් ගෙන නොතිබුණි. මේ කිසිවක් ගැන ආරක්ෂක අංශ අනාවරණය කරගැනීමට අසමත් විය. 2018 අගෝස්තු මාසයේදී බෝම්බ අත්හදා බැලීමක් කර තිබුණි. එහිදී රිල්වාන්ගේ සහෝදරයාගේ අත තුවාල වී තිබුණි. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර අප්‍රේල් 16 වැනිදා පාලමුණේ නම් ප්‍රදේශයේදීද මෝටර් සයිකලයක් පුපුරවා බෝම්බ අත්හදා බැලීමක් කර තිබුණි. මෙවැනි පිපිරීම් සිදුවීම්වලදී මෙන්ම ඊට පෙර 2018 දී එල්ල කළ කාල බෝම්බ ප්‍රහාර එල්ල කර තිබියදී පවා ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ කිසිදු පියවරක් ගෙන නොතිබුණි. මෙවැනි පසුබිමක බුද්ධි අංශවල පිරිස් මෙම ප්‍රහාරයට දැක්වූ සම්බන්ධතාව පිලිබඳ පුළුල් සැකයක් මතු වේ.

තරිඳු ජයවර්ධන පළ කොට වාරණයට ලක් වූ වීඩියෝව පහතින්

Author

Related Posts