කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දෙයි

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (17) අධිචෝදනා භාරදුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාරදීම සිදුකළා.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණා. 

තවද ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළා.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද නියම වුණා. 

රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙනවා.

Author

Related Posts