මහනුවර ඇසළ පෙරහැර නැරඹීමේ ආසන සඳහා වන ටිකට් පත් ඇතැම් පුද්ගලයන් විසින් රුපියල් 50,000ත් රුපියල් 65,000ත් අතර මිලට පවා අලෙවි කිරීමේ ජාවාරම බරපතළ ගැටලුවක් බවට පත් ව ඇතැයි මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසනවා.
මහනුවර නගර සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පෙරේදා (14) පැවති විශේෂ රැස්වීමක් සඳහා එක් වෙමින් ඒ මහතා එම අදහස් පළ කළා .
“මහනුවර රැජින හෝටලය කොරිඩෝවේ පෙරහැර නැරඹුම් ආසනවලින් කොටසක් පමණක් මහ නගර සභාවෙන් අලෙවි කරනවා. ඒ රුපියල් 12,000, 15,000 හා 18,000ක් වැනි මුදලකට. අපි මේවා අලෙවි කරන්නේ අන්තර්ජාලය හරහා. මේ ටිකට් අලෙවිය අන්තර්ජාලය හරහා ආරම්භ කරන අවස්ථාවේ දී ම ඇතැම් පුද්ගලයෝ ටිකට් පත් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිල දී ගන්නවා. මේ මිල දී ගැනීම් දුම්රිය ප්‍රවේශ පත්‍ර වගේ අපි සීමා කරලා නෑ. එහෙම කරන්නත් බෑ. ඒත් ඊට පස්සෙ මේ අය පෙරහර සමයේ මේ ටිකට් ඉතා අධික මිලකට විකුණනවා. මේ ටිකට් අලෙවි කිරීම සම්බන්ධයෙන් මිල තීරණයක් නෑ. මිල පාලනයක් නෑ. නියාමනයක් නෑ.” යනුවෙන් එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
කෙසේ නමුත් ඔහු තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ, පෙරහර සමයේ මහනුවර නගරයේ බොහෝ ව්‍යාපාරික ආයතනවල පෙරහැර නැරඹිය හැකි ස්ථාන මෙම ආසන පනවන්නන් හට යම් මුදලකට බදු දීම පෙර සිට ම සිදුවන බවයි. ඇතැම් අය මෙම ස්ථාන බදු ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ත් 100ත් අතර මුදලක් වැය කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, තමන් වියදම් කළ මුදල වැඩි ලාභයක් ද සමඟ පියවා ගැනීම සඳහා හිතු හිතූ ගණන්වලට අලෙවි කරන බවත් නගරාධිපතිවරයා අවධාරණය කොට කියා සිටියා.
“බොහෝ විට විදේශිකයන් තමයි මේ ප්‍රවේශපත් ලබා ගන්නේ, අන්තිමට මේ හැම ගැටලුවකට ම මුහුණ දෙන්න වෙන්නේ නගර සභාවටයි. අපේ කර මත තමයි හැම ප්‍රශ්නයක් ම වැටෙන්නේ. මේ ආසන ගැටලුව නිසා පසුගිය වසරේ පෙරහර දිනයන්වල මහනුවර මහ නගර සභාවේ කාර්ය මණ්ඩල සහ මහනුවර පොලිසියේ නිලධාරීන් ගැටුණා. අන්තිමේ දී අත පය විසි කර ගන්න තත්ත්වයට ම උණුසුම් වුණා. නගර සභාවේ සේවකයෝ වැඩ වර්ජනයකට යන්න ගියත් පෙරහැර සමයේ එහෙම කළොත් සිදු වන ගැටළු පිළිබඳව ඒ අය දැනුවත් කරලා ගැටළුව සමථයකට පත් කර ගත්තා. මේ පාර එහෙම වෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා පෙරහැර සමයේ ආසන මිල ගණන් නියාමනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙන් පවසමින් නගරාධිපතිවරයා තම අදහස් දැක්වීම අවසන් කළා.
නගරාධිපතිවරයාගෙන් අතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහනුවර සංචාරක මාර්ගෝපදේශක සංගමයේ සභාපති ඉන්දික මහතා කියා සිටියේ, රන්දෝලි පෙරහර වන විට මෙම ආසනයක මිල රුපියල් 60,000ත් ඉක්මවන බවයි.
“මේ ටිකට් පතක නියම මිල වෙන්නේ රුපියල් 12,000 පමණයි. වැඩි මිලට විකුණලා තැරැව්කරුවන් කිහිප දෙනෙක් අතරේ ඉතිරි මුදල බෙදිලා යනවා. කිහිප දෙනෙක් මේ පෙරහර ආසන මාෆියාව හැමදාම ක්‍රියාත්මක කරනවා. අපිට මේවාට මැදිහත් වෙන්න බෑ. එහෙම වුණොත් අපිට නැති කරදරවලට මුහුණ දෙන්න වෙනවා. මේ ආසනයක මිල ගණන් අහපුවාම විදේශ සංචාරකයෝ මවිතයට පත් වෙනවා. ඒ අය කියනවා ආයේ නම් පෙරහර බලන්න එන්නෙ නෑ කියලා. මෙහෙම අසාධාරණකම් කරනකොට මේ අය නුවරට ඇවිල්ල තියා රූපවාහිනියකින්වත් පෙරහර බලන එකක් නෑ. ඒ තරමට අප්‍රසාදය පළ කරනවා. මේ ආසන ගැටලුව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් පෙරහැර බලන්න විදේශිකයෝ එන එකක් නෑ. අපි දැක්කා පසුගිය වසරේ බොහෝ විදේශිකයෝ රටේ මහජනතාව සමඟ මහා මාර්ගයේ ඉඳගෙන පෙරහැර බලන ආකාරය. ඇතැම් විදේශිකයන්ට මුදල් වැය කිරීමේ ගැටලු නැති වුණත් මේ රටට පැමිණෙන හැමෝටම එහෙම නෑ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් එම තත්ත්වයේ බරපතල ස්වභාවය විස්තර කරමින් අදහස් පළ කර සිටියා.
අවසාන වශයෙන් එම මහතා අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, තම සංගමය විදේශිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් නිරතුරුව ම මැදිහත් වන නමුත් තමාට මැදිහත් විය හැකි සීමාවක් තිබෙන බවත්, තත්ත්වය කිසිදු මැදිහත් වීමකින් තොරව මෙලෙස ම පවතින්නේ නම් අවසන් රන්දෝලි පෙරහැරේ ආසනයක් රුපියල් ලක්ෂයකට පමණ අළෙවි විය හැකි බවත් ය.
