ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇමෙරිකාව විසින් මෑතක දී පනවන ලද තීරු බදු ප්‍රතිශතය අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් දූත පිරිසක් සිකුරාදා (18) ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත් ව යාමට සූදානම් වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊයේ (15) පවසා සිටියා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අදහස් දක්වමිනුයි.
එහි දී අමාත්‍යවරයා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති අධික අන්‍යෝන්‍ය තීරු බදු වලින් සහනයක් තවදුරටත් තම රජය අපේක්ෂා කරන බව සඳහන් කරමින් මෙම සාකච්ඡාවල වැදගත්කම අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ ජූලි 12 වන දින අපනයන අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන්, ජනාධිපති අනුර කුමාර මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති වැදගත් රැස්වීමකින් අනතුරුව බවයි ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා දැනට පනවා ඇති 30% ක තීරු බදු ප්‍රමාණය ලිහිල් කරගැනීම අරමුණු කර ගනිමින්, අවසාන දිනය වන අගෝස්තු 1 වන දිනට පෙර රජය විසින් මෙම ක්‍රියාමාර්ග සඳහා පිවිසෙනු ඇති අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසා සිටියේ, අපනයන වෙළඳාම ආවරණය වන පරිදි විධිමත් සාකච්ඡා ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාකච්ඡා වටවල දී සිදු කිරීමට රජය කටයුතු කරනු ඇති බවයි.
