කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළ දී එවකට යුද හමුදාපති ව සිටි සරත් ෆොන්සේකා වෙත මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව, වැඩිදුර විභාගය සඳහා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.
කෙසේ නමුත් අද දින සාක්ෂි දීමට නියමිතව සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එය සැලකිල්ලට ගනිමින් විනිසුරුවරිය අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 04 වන දා දක්වා කල් තැබීමට නියෝග කර සිටියා.
2006 අප්‍රේල් මස 25 වන දින කොළඹ යුධ හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුව අසල දී එවකට යුධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් එල්ල කෙරුණු මෙම මරා ගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් සරත් ෆොන්සේකා බරපතළ තුවාල ලැබූ අතර, ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුධ හමුදා සැරයන්වරයෙකු, කෝප්‍රල්වරුන් තිදෙනෙකු ඇතුළු යුධ හමුදා සෙබළුන් කිහිප දෙනෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා.
ඒ අනුව, ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා 27 ක් මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.
