නීති විරෝධී පිරමීඩ ආයතනවල රුපියල් මිලියන 4,222 ක දේපළ අත්හිටුවලා‍.

නීති විරෝධී පිරමීඩාකාර ආයතන සතුව තිබූ රුපියල් මිලියන 4,222 ක දේපොළ අත්හිටුවා තිබෙන බවත්, පිරමීඩාකාර ආයෝජන ක්‍රම වලට සම්බන්ධ සැකකරුවන් 71 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ, මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ජයසුන්දර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මූල්‍ය වංචා පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති සංවාදයක දී යි.

පිරමීඩාකාර කටයුතු වලට සම්බන්ධ පිරිස් අපරාධ මගින් උපයා ගන්නා දේපොළ බැංකු ගිණුම්වලට බැර කර ඇත්නම් මූල්‍ය බුද්ධි ඒකකයේ සහයෝගය ද ඇතිව එම ගිණුම් අත්හිටු වීමට පියවර ගන්නා බවත්, අපරාධ වලින් උපයාගත් වත්කම් සියල්ල මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෝ වෙනත් නීති ප්‍රකාර ව අත්හිටවීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන යමින් අනීතිකව උපයාගත් වත්කම් ඔස්ට්‍රේලියාව, ජෝර්ජියාව ආදී රටවලට යොමු කර තිබෙන බව මෑතක දී කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන හෙයින් ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටියේ.

Author

Related Posts