ඉක්මන් විසඳුම් නොදුන්නොත් ඕනෑම තත්ත්වයක් භාරගන්න රජය සූදානම් වෙන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවයි

රජයේ රෝහල් සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ රෝහල් යාන්ත්‍රණයෙන් පරිබාහිර ව දේශීය වශයෙන් මිල දී ගැනීම සම්බන්ධව රජය විසින් ගෙන යන පරීක්ෂණ පිළිබඳ කරුණු මෙරට ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ හුවාදක්වන ආකාරය හේතුවෙන් නිසි ක්‍රියා පටිපාටියට අනුකූලව ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට පවා විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් උනන්දු නොවන තත්ත්වයක් මේ වන විට වර්ධනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධ කෙටුම්පත් යෝජනාවක් සමාලෝචනය කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරු සඳුදා (21) දිනයේ දී රැස්වීමක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මූලස්ථානයට රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එම සංගමය පවසා සිටින්නේ, සකසා අවසන් කරන ලද නිර්දේශ මාලාව මේ මාසයේ අවසාන සතියේ පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඊයේ (15) මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ප්‍රකාශ කළේ, වෛද්‍ය නිලධාරීන්ගේ මෙම දෙගිඩියාවට ප්‍රධාන හේතුව රෝගී සත්කාර හා ප්‍රතිකාර සැපයීම අඛණ්ඩව හා කැපවීමෙන් යුතු ව සිදු කළත්, තමන් වෙත ප්‍රමාණවත් නීතිමය ආරක්ෂාවක් නොමැතිකම බවයි. කෙසේ නමුත් ඔහු අනතුරු අඟවන්නේ, මෙම තත්ත්වය ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය සේවාවන් කඩාකප්පල් වීමට හෝ සීමා වීමට බලපෑම් කළ හැකි බරපතල අවදානමක් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කතරුණු දක්වමින් ඔහු පවසා සිටියේ, මෙම ගැටළුව විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ බරපතල අවධානයට ලක්ව ඇති බවත්, GMOA හි විධායක කමිටුව අදාළ සියලුම පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වී යෝජනා මාලාවක් සකස් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් ය. එම කමිටුව දැනටමත් මූලික සාකච්ඡා පවත්වා මූලික කෙටුම්පතක් සකස් කර ඇති බවයි ඔහු පවසන්නේ.

“මෙම විකල්ප ප්‍රසම්පාදන යාන්ත්‍රණය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ, නිර්ණායක සහ නීතිමය රාමුව සකස් කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරී ඇති අතර, එමඟින් රෝගීන්ගේ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන බවයි” ලේකම්වරයා පවසන්නේ. කෙසේ නමුත්, අද දක්වා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් වගකිවයුතු බලධාරීන් එවැනි පැහැදිලි සහ පුළුල් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට අපොහොසත් වී ඇති බව ද ඔහු කනගාටුවෙන් යුතු ව අවධාරණය කරනු ලැබුවා.

එම නිසා වෛද්‍ය සේවාවන්හි සේවාවන්හි සිදු වන ඕනෑම තත්ත්වයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණ වගකීම භාර ගත යුතු බව ඔහු පවසා සිටියා.

රජය නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත්, රෝහල් පද්ධතිය තුළ ගුණාත්මක ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ වගකීමෙන් නිදහස් විය නොහැකි බවත් සඳහන් කරමින් රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රාජකාරිය ද පරයා කැපවන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යුතුකම බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අවසාන වශයෙන් සඳහන් කර සිටියා.

Author

Related Posts