හෝම් වර්ක් කරලා එන්න… තීරණයක් ගතහැකි වගකිවයුතු නිලධාරීන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සම්බන්ධ වෙන්න…

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගීත්වයෙන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චිගේ මූලිකත්වයෙන් ඊයේ (15) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමේදී පෙර සූදානමක් සහිතව, වග කිවයුතු නිලධාරීන් යොමු කරන්නැයි එහිදී ඇය ආයතන ප්‍රධානීන්ට අවධාරණය කළා. ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය දියත් කිරීමේදී ඒ ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම ඉතා වැදගත් බැවින් මේ බව අවධාරණය කරන බව ඇය පැවසුවා.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් වූ මුදල් පිළිබඳව ප්‍රමාණාත්මක දත්ත ගෙනහැර දැක්වීමට වඩා එම ව්‍යාපෘති හරහා මෙතෙක් සිදු වූ ප්‍රතිලාභ හා බලපෑම් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම සහ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව ඇය ප්‍රකාශ කරන ලදී.

මෙහි දී විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, බස්නාහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ යෝජිත ව්‍යාපෘති වැඩසටහන් යටතේ, 2025 වසර සඳහා යෝජිත ව්‍යාපෘතිවල මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මූලිකව සාකච්ඡා කෙරිණි.

තවද මෙම වසරට අදාළව දිස්ත්‍රික්කය තුළ සිදුකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය නිවැරැදිව සමාලෝචනය කරගැනීම එළඹෙන වසර සඳහා සැලසුම් ගොඩනැගීමේ දී ඉතා වැදගත් වන බව අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

සංවර්ධන කටයුතු වලට ඇති බාධක පෙන්වා දීමේදී එය සාධක සහිතව කරුණු මඟින් තහවුරු කළ යුතු බවත් එසේ නොවුවහොත් සම්බන්ධීකරණ රැස් වීමට පැමිණෙන සියලු
දෙනා අපහසුතාවට පත්වන බවත් ඇය සඳහන් කළා. එසේම සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවන්නැයි ඇය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය.

අදාළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙන්ම එකී ප්‍රගතිය වේගවත් කරන්නට ඇති බාධක මානව සම්පත් හා තාක්ෂණ මෙන්ම වෙනත් දේ සම්බන්ධයෙන් කරුණු සහිතව වාර්තා කරන්නේ නම් අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට රැගෙන යන්නට උපදෙස් දිය හැකි ආකාරය පිළිබඳව අප හට තීරණ ගන්නට ඉන් හැකියාවක් ලැබෙන බවද ඇය කීවාය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් ගෙන ආ යෝජනාවක් අනුව, මෙම වසරට අදාළ කොළඹ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අගෝස්තු මාසයේ දී නැවත අධීක්ෂණයට ලක් කිරීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාගේ අවධානය යොමු විය.

තවද මෙම සංවර්ධන කමිටු රැස්වීමේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත නාගරික ප්‍රවාහන ප්‍රතිපත්තිය පිළිබඳව කමිටු සාමාජිකයන් වෙනුවෙන් විශේෂ හඳුන්වාදීමක් ද සිදුකරන ලදී.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, අරුණ පනාගොඩ, අසිත නිරෝෂණ, නිතීඥ සුසන්ත දොඩාවත්ත, දේවානන්ද සුරවීර යන මහත්මහත්මීන් ද කොළඹ දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් ඇතුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සාමාජිකයන් සහභාගී විය.

Author

Related Posts