ට්‍රම්ප් රුසියාවට තර්ජනය කරයි ! යුක්‍රේනයට ඉහළ පෙළේ අවි ලබා දෙන බවට ද පොරොන්දු වෙයි !

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන්නේ, නේටෝ සංවිධානයේ රටවල් හරහ යුක්‍රේනයට “ඉහළම පෙළේ අවි” යැවීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ඔහු රුසියාවට තර්ජනය කරමින් කියා සිටියේ, දින 50ක් ඇතුළත යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹෙන්නේ නැත්නම් රුසියාවට එරෙහිව දැඩි තීරු බදු පැනවීමට තමන් කටයුතු කරන බවයි.

යුක්‍රේනයට තමන්ට අවශ්‍ය දේ ස්වාධීනව කළ හැකි බව සහතික කර ගැනීමට අවශ්‍ය බවත්, නේටෝ සංවිධානය හරහා යුක්‍රේනයට අවශ්‍ය දේ සැපයීමට ඇමෙරිකාව තීරණය කර ඇති බවත්, ඒ සඳහා ඇමෙරිකාව කිසිවක් නො ගෙවන අතර, යුරෝපා සංගමය විසින් මුදල් ගෙවනු ඇති බවත්, වොෂින්ටනයේ නේටෝ ප්‍රධානී මාර්ක් රූට් සමඟ පැවති හමුවකින් පසුව ට්‍රම්ප් පවසා සිටියා.

ට්‍රම්ප්ගේ මෙම අවි පොරොන්දුව රුසියානු – යුක්‍රේන යුද්ධයේ යුක්‍රේනය වෙනුවෙන් ගනු ලැබූ ප්‍රධාන පියවරක් බවට සැලකෙන අතර, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි සඳහන් කළේ තම රටට සහාය වීමට, සිදු වන ඝාතන නැවැත්වීමට මෙන්ම කල් පවතින හා සාධාරණ සාමයක් ස්ථාපිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට නේටෝ සංවිධානය ගනු ලැබූ මෙම තීරණය අතිශයින් ම අගය කරන බවයි.

තීරු බදු සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් ට්‍රම්ප් පවසා සිටියේ, යුක්‍රේනය සමඟ සාම ගිවිසුමකට දින 50ක් ඇතුළත ළඟා නො වන්නේ නම්, රුසියාවේ ඉතිරි වෙළඳ හවුල්කරුවන් ඉලක්ක කර ගනිමින් 100% ක ද්විතීයික තීරු බදු පැනවීමට තමා කටයුතු කරන බවයි.

ඒ අනුව උදාහරණයක් ලෙස, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිල දී ගැනීම දිගින් දිගටම සිදු කරන්නේ නම්, ඉන්දියානු භාණ්ඩ මිල දී ගන්නා ඇමෙරිකානු සමාගම්වලට එම ඉන්දියානු නිෂ්පාදන ඇමරිකාව තුළට රැගෙන ඒමේ දී 100% ක ආනයන බද්දකට හෝ තීරු බද්දකට යටත් වීමට සිදු වනු ඇත.

මෙහි දී භාණ්ඩ ඉතා මිල අධික වන නිසා ඇමෙරිකානු ව්‍යාපාර වෙනත් තැනකින් ඒවා ලාභදායී ලෙස මිල දී ගැනීමට කටයුතු කරන අතර, එමඟින් ඉන්දියාවට ඒ හරහා සම්පූර්ණ ආදායම අහිමි වී යනු ඇත.

ට්‍රම්ප්ගේ මෙම ක්‍රියා පිළිවෙතේ එක් අරමුණක් වන්නේ, රුසියාවේ ආර්ථිකය අඩාල කිරීමයි. උදාහරණයක් ලෙස වෙනත් ජාතීන්ට තෙල් විකිණීමෙන් මුදල් උපයා ගැනීමට නො හැකි වුවහොත් යුක්‍රේන යුද්ධය සඳහා ද මුදල් යෙදවීමේ අඩුවක් සිදුවනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලබන්නේ.

ඒ අනුව මෙහි දී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට පේට්‍රියට් (Patriot) ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ලබා දීමට තීරණය කර ඇති බවයි දැනට නිවේදනය කර තිබෙන්නේ. රුසියාව විසින් සිදු කරන ගුවන් හා ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව යුක්‍රේනයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ උත්සාහයක් ලෙස සඳහන් කරමින් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් ඔහු විසින් පෙර දී ගනු ලැබූ තීරණයක් වෙනස් කරමින් මෙම උපාංග ලබා දීමට එකඟ වී ඇති නමුත්, ලබා දීමට නියමිත මිසයිල ගණන පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු නිකුත් වී නොමැති බව සඳහන් වනවා.‍

කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කරනුයේ, යුක්‍රේනයට මෙම ආයුධ ලබා දෙන්නේ ආධාර ලෙස නොවන බවයි.

තව ද ඇමෙරිකාවෙන් ලැබෙන ආයුධ නේටෝ සංවිධානය විසින් මිලට ගෙන යුක්‍රේනයට ලබා දෙනු ඇති බව ද සඳහන් වන පුවත් සැරිසරනු අපට දැක ගත හැකියි. ඇමෙරිකාව නේටෝවේ සාමාජිකයකු වන නිසා වක්‍රාකාරයෙන් ඇමෙරිකාව මේ සඳහා සම්බන්ධ වන බවත්, සම්පූර්ණ බර ඔවුන් මත පැටවීම වළක්වා ගැනීම එහි අරමුණ වන බවත් විචාරක පිරිස් දක්වා සිටිනවා.

Author

Related Posts