අතිකාල (OT) ප්‍රශ්නයක් නිසා අද රෑ සිට තැපෑල ස්ට්‍රයික්…

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුව පිළිබඳව විෂය බාර අමාත්‍යවරයා මෙන්ම ජනධිපතිවරයාවද දැනුවත් කිරීමට කටයුතු කර ඇතත් මේ සඳහා තවමත් විසඳුමක් දීමට ආණ්ඩුව අසමත් වීම නිසා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව වෘත්තීය සමිති පවසයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,

“මේ වෙද්දි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතා බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම තුළ. එක් අතකින් ඔවුන්ව දැඩි ලෙස පීඩනයකට ලක්කර ඇති අතර, අනෙක් අතට පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා. ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. මේ තුළින් තැපෑල බිඳ වටෙනවා කියලා තැපැල් පරිපාලනය හොඳාකාරවම දන්නවා. මොකද සේවකයින් 10ක් ඕන තැනට දැන් ඉන්නේ එක් කෙනයි. අද දවස ඇතුළත පිළිතුරක් නැත්නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවල මෙය ක්‍රියාත්මක වෙනවා.”

එසේම මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී නිරෝෂන් ප්‍රකාශ කළේ, තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාල හා මධ්‍යම තැපැල් හුවමාරුව මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් අතිකාල සේවා වල යෙදීම ප්‍රතික්ෂේප කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දී සිටින බවයි. තැපැල් දෙපාර්තමේන්තුවේ දෙවන පෙළ නිළධාරීන් 4200කින් 2000කට වඩා මේ වන විට පුරප්පාඩු පැවතීමත්, පළමු පෙළ පුරප්පාඩු 200කට ආසන්න ප්‍රමාණයකුත් පැවතීම මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තවත් ප්‍රධාන හේතුවක් ලෙස ඔහු සඳහන් කළා.

මේ ආකාරයට විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පැවතීම නිසා රාජකාරී කිරීමේදී තැපැල් දෙපර්තම්නේතුවේ කාර්ය මණ්ඩලය දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බවත් එම නිසා ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට බාධා වී ඇති බවත් ඔහු සඳහන් කළා. නමුත් මෙතෙක් කල් ජනතාව පිළිබඳව සිතා සේවය සැපයීම සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම වසර 10කින් බාහිරින් තැපැල් සේවාවට පුරවැසියන්ට එක් වීමට අවස්ථාව ලබා දී නොමැති බවත් එසේ සිදු නොකර නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට යන බවත් නිරෝෂන් මහතා සඳහන් කළා. රජය තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් විසඳීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කරන බව තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් මහතා අවධාරණය කර කියා සිටියා.

Author

Related Posts