අම්පාර දිස්ත්රික්කයේ ලාහුගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම රජයේ වී ගබඩාව යල කන්නයේ අවසාන භාගය වන තෙක් හිඳ විවෘත කළ බවත්, ඒ වන විට බොහෝ ගොවීන් පෞද්ගලික වෙළෙන්දන් වෙත වී අලෙවි කර අවසන් බවත් එම ප්රදේශයේ වී ගොවිතැනෙහි නියැලෙන ගොවීන් පවසා සිටින බව අද මව්බිම පානම වාර්තාකරු චින්තක වාර්තා කර තිබෙනවා.
පානම ප්රදේශයේ යල කන්නය මේ වන විට අවසාන වෙමින් පවතින බවත්, රජය වී ගබඩා විවෘත කරන්නේ නමට පමණක් බවත්, මෙතෙක් සැලකිය යුතු වී ප්රමාණයක් ගබඩාවට ලැබී නැති බවත් ගොවීන් වැඩිදුරටත් අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, පානම රජයේ වී ගබඩාවේ ස්ථාන භාර නිලධාරි ආර්.එම්.පී.සී. සිල්වා මහතා පවසනුයේ, ගබඩාව විවෘත කළ දින තුනට වී කිලෝ 2,232 ක් මිල දී ගැනීමට හැකි වූ බවත්, තවදුරටත් වී තොග තම ගබඩා වෙත ලැබෙමින් පවතින බවත් ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය මහ කන්නයේ වී කිලෝ එකක් වත් මිල දී ගැනීමට නො හැකි වූ නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.
සමහර ගොවීන් රැගෙන එන වී සාම්පලවල නියමිත ප්රමිතියට තෙත බර නොමැති හේතුවෙන් නැවත හරවා යැවීමට සිදු වන බවත්. තෙත වී මිල දී ගන්නේ නම් විශාල වී තොග මිල දී ගත හැකි බවත් සඳහන් කරමින් පානම, පොතුවිල් හා ලාහුගල යන ගබඩා තුන ම ආවරණය කරන්නේ තමා බවත්, එම නිසා මේ සියලු ම ගබඩා දිනපතා ම විවෘතව තැබීමට නො හැකි බවත්, එම හේතුව මත ගබඩාව වසා ඇති දිනවල සමහර වී තොග ගබඩා වෙත නො ලැබී යන බවත් ඔහු අවසාන වශයෙන් පවසා සිටියා.
රජය පෞද්ගලික වී වෙළෙඳපොළ සමග තරගකාරී ව වී මිල දී ගැනීමට නම් ගොවීන්ට ද සහන සැලසිය යුතු බව හා ඔවුන් වැය කරන මුදලට සහ මහන්සියට සරිලන වැටුපක් මෙම මිලෙන් ලැබෙන අයුරින් වී මිල වැඩි කළ යුතු බව යි ගොවීන් පවසන්නේ.
එසේ ම තෙත වී මිල දී ගැනීම ආරම්භ කළ යුතු බව හා ගොවීන් පෞද්ගලික වෙළෙන්දන්ට වෙත ණය වී ඇති හෙයින් එම ණය උගුලෙන් තමන් ගලවා ගැනීමට කටයුතු කරන ලෙස ද ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
