සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය වෙයි… කාන්තාවෝ රෑ 10න් පස්සෙත් වැඩ කරන්න ලෑස්ති වෙන්න…තනි කම්කරු නීතිය ටිකෙන් ටික…

ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග සංශෝධනය කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත මඟින් සාප්පු හා කාර්යාල සේවකයින්ට සේවා පහසුකම්, සේවා කාලය, අතිකාල දීමනා සහ නිවාඩු සම්බන්ධ විධි විධාන නියම කර ඇති අතර, එම පනත අනුව කම්කරු විෂය භාර අමාත්‍යවරයාට අදාළ නියෝග නිකුත් කිරීමට බලතල ද ලබා දී ඇත.

දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යම් සේවිකාවක් නේවාසික හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියකගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ හෝ කාන්තා වැසිකිලි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයෙහි නියුක්ත කරනු ලැබිය හැකිය. එසේ වුව ද, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවිකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10.00 දක්වා පමණක් වන බැවින්, ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව පෙන්වා දී ඇත.
ඒ අනුව, නේවාසික හෝටල් සහ අවන්හල් වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වන නියෝගය සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මේ ආකාරයට නියෝග නිකුත් කිරීමේ බලය අමාත්‍යවරයාට පනතින්ම හිමි වන බව අප දන්නා කරැණකි. අමාත්‍යවරයා රජයේ නියෝජිතයා ලෙස සේවකයන් සහ සේවායෝජකයන් අතර හොඳ කාර්මික සබඳතාවයක් පවත්වාගෙන යා හැකි ආකාරයට, වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ රැකියා සුරක්ෂිතතාවය සහතික කරමින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සිදු කළ යුතු වන්නේය. අමාත්‍යවරයා පන්තියක් නියෝජනය නොකළ යුතු අතර කිසිදු පාර්ශවයකට අසාධාරණයක් නොවන පරිදි බල තුලනය හා සමපාත වෙමින් ශ්‍රමය පමණක් වත්කම වූ කණ්ඩායම සුරා කෑමේ ප්‍රතිපත්ති සකස් නොකළ යුතුය.

අමාත්‍යවරයා මෙම නියෝගය ගෙන ඒමටත් පෙර සිටම අවිධිමත් අයුරින් හෝටල් සේවිකාවන් ප.ව. 6න් පසුවත් අවන්හල්වල සේවයේ යෙදී සිටි අතර ආහාර හා පාන පිළිගන්වන සේවිකාවන් රාත්‍රී 10න් පසුවත් සේවය කර ලදී. තවමත් සේවය කරන බව බොහෝ දෙනා දන්නා කරුණක් වුවද රටේ අවාසනාවට හෝ එම සේවිකාවන්ගේ අවාසනාවට කම්කරු දෙපාර්තමේන්තුවේ මේවා සොයා බැලිය යුතු සමහර නිළධාරීන් අන්ධයන් ගොළුවන් බිහිරන් සේ කටයතු කිරීම ඊට හේතුවයි. Clean කර දැමිය යුතු සෙට් එකක් කම්කරු දෙපාර්තමේන්තුව තුළ ද සිටින බව සමහර හාම්පුතුන්ම කියති.

මෙවන් වාතාවරණයක් හමුවේ සාප්පු හා කාර්යාල සේවක පනත වෙනස් කරන්නට ඇමති වරයාට කිව්වේ කවුද? සේවකයින්ද? ප.ව. 6න් පසුවත් සහ රාත්‍රී 10න් පසුවත් රැකියා කරන්න අවශ්‍යයි යනුවෙන් සේවිකාවන් කිව්වාද? එක දිගට මරාගෙන වැඩගන්න සහ රෑ 10 ට්‍රාන්ස්පෝර්ට් එක දුන්නම තව කියක් හරි වියදම් වෙන හින්ද හාම්පුත්තු කිව්වද? නැත්නම් ඇමතිවරයාට නිකන් ඉන්න ගමන් හිතුණද?

ඒ කිසිවක් නොවේ. මේ ටිකෙන් ටික කෑලි කඩ කඩ ගෙන එන්නේ නව සේවා නියුක්ති පනතයි. කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමේදී ඔවුන්ට අවශ්‍ය නිසි ආරක්ෂාව සලසනුවස් නීතියේ විධි විධාන වලට අනුකූලව සේවයේ යෙදවීම තහවුරු කිරීම පිණිස කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරය ලබා ගැනීමේ නෛතික අවශ්‍යතාවය අහෝසි කිරීම සහ විධිමත් නෛතික අධීක්ෂණ ක්‍රියාවලිය දුර්වල කිරීම නව සේවා නියුක්ති පනත් කෙටුම්පතේ තිබිණි.

කාර්මික අංශයට අදාලව නීතියෙන් මසකට දින 10කට සීමා වී පැවති, කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවිය හැකි සීමාව දින 15 දක්වා වැඩි කිරීම අදාළ විධි විධානද මනුෂ ගෙන ඒමට දත කෑ පනතේ විය.
එහි තිබූ මෙම කොටස අනිල් ජයන්ත තවත් හොඳට ඔප මට්ටම් කර ගෙනවිත් ඇත. එනම් සාප්පු හා කාර්යාල අංශයේ කාන්තා සේවකයින් සේවයේ යෙදවීම සීමා කරන නෛතික විධි විධාන සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමයි. ඒ අනුව සේවායෝජකගේ අභිමතය පරිදි තීරණය වන ප්‍රවාහන දීමනාවක් මත, කම්කරු කොමසාරිස්ගේ පූර්ව අවසරයක් නොමැතිව සාප්පු හා කාර්යාල අංශයේ කාන්තා සේවිකාවන්ට රාත්‍රී 10න් පසුව ඕනෑම වෙලාවක් දක්වා සේවයේ නියුක්ත කරවීමට අවසරය ලැබේ.

ඒ අනුව අතිකාල සහ රාත්‍රී සේවය ඇතුළුව (විවේකය සඳහා දිනකට ලබා දෙන පැය අතහැර) සතියකට පැය 80 ක් දක්වා කාන්තාවන් සේවයේ යෙදවීමට සේවායෝජකට අවසරය ලැබෙන බව නව සේවා නියුක්ති පනත් කෙටුම්පත ගෙනෙද්දී වෘත්තීය සමිති දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

මෙහිදී කාන්තාවන්ට මෙලෙස සේවය කිරීමට අවශ්‍යනම් ඒ අයිතියට ගරු කිරීමද සිදු කළ යුතු අතර මතක තබා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ සේවායෝජකයන් සංවිධානාත්මකව අධික ලෙස ශ්‍රම සූරා කෑමේ හපන්නු බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading