අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් මෙන්ම ඝාතන චෝදනා ද ඇති නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානී නීතිඥ වරුණ ජයසුන්දර ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ ම නිලධාරීන් 20 දෙනෙකුට වධහිංසා කිරීම්වලින් තොරව නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් ඇතුළු අපරාධ විමර්ශනවල දී තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දී විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා.
නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානී නීතිඥ වරුණ ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව සිටි සමයේ දී ගිනි අවියක් පෙන්වීමට යන බව කියමින්, මහේෂ් ඉන්දික නම් පුද්ගලයාව ඝාතනය කිරීම ඇතුළු තවත් සිදුවීම් ගණනාවක් පිළිබඳ ව චෝදනා එල්ල වී සිටි තැනැත්තෙකි.
කෙසේ නමුත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 04 දෙනෙක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු 16 දෙනෙක් මෙම පුහුණුව සඳහා සහභාගි වී ඇති අතර, ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම පොලිස් නිලධාරීන් මෙපමණ පිරිසක් විදේශයක දී එකවර පුහුණුව ලබන පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.
මෙම කණ්ඩායම වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණගේ නායකත්වයෙන් යුතු අතර, සහභාගි වූ සෙසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස ඉහත සඳහන් නැඟෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානී නීතිඥ වරුණ ජයසුන්දර මෙන්ම විශේෂ දිසාව සහ මැතිවරණ අංශයේ ප්‍රධානී දිනේෂ් කරුණානායක, උතුරු පළාත් භාර පොලිස් ප්‍රධානී තිලක් ධනපාල යන අය ඇතුළත් වනවා.
නියෝජ්‍ය පොලිස්පතිවරු 16 දෙනා අතර ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බිම්සානි ජාසිංහආරච්චි සහ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිණි මහත්මීන් ද සිටින බවයි වාර්තා වන්නේ.
මෙම පුහුණු පාඨමාලාව ඉන්දියාවේ ගාන්ධිනගර පොලිස් විශ්වවිද්‍යාලයේ දී සහ නව දිල්ලියේ දී පවත්වා ඇති අතර, පසුගිය 07 වැනිදා සිට 12 වැනිදා දක්වා පුහුණු පාඨමාලාව පැවති බව ඊට සම්බන්ධ වූ නිලධාරීන් රැසක් සඳහන් කළ බව අද “දිනමිණ” වාර්තා කර තිබුණා.
අපරාධ මර්දනයේ දී සහ අපරාධ විමර්ශනයේ දී ඉන්දියාව මේ වන විට තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගන්නා බවත් ඒ සඳහා AI තාක්ෂණය ද යොදා ගන්නා බවත් සඳහන් කර සිටි අතර, අපරාධකරුවන් ද තාක්ෂණය භාවිත කරමින් අපරාධ සිදු කරන බැවින් එවැනි අපරාධ වළක්වා ගැනීමට යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද ගැන යම් දැනුමක් ද මෙහි දී ලැබූ බව ද එම නිලධාරි පිරිස සඳහන් කර සිටියා.
මේ වන විට මුදල් ගනුදෙනු ඈත් වෙමින් පවතින අතර ඔන්ලයින් ගනුදෙනු සඳහා පෙලඹීමක් ලෝකයේ සිදු වෙමින් පවතින බවත්, මෙවැනි ගනුදෙනුවල දී සිදු වන වංචා ක්ෂණිකව ම පාලනය කිරීමට හැකි ක්‍රමවේද ඉන්දියාවේ භාවිත වන බව ද සඳහන් කරමින් එවැනි අවස්ථාවක දී විනාඩි 05 ක් වැනි කෙටි කාලයක් තුළ ගනුදෙනු අවහිර කිරීමට හැකියාව ඇති බවත්, මෙම තාක්ෂණය ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන කටයුතු සඳහා යොදා ගැනීමට අනාගතයේ හැකියාව ඇති බවත් වැඩිදුරටත් පවසා සිටියා.
