SLIIT රජයට අයිති නෑ ! බොරු කියන්න එපා ! – නිවේදනයක් නිකුත් කරමින් SLIIT ආයතනය කියයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) නිල නිවේදනයක් නිකුත් කරමින් අද ‘දිණමිණ’ පුවත්පතේ දැන්වීමක් ලෙස පළ කර සඳහන් කරන්නේ, තම ආයතනය ඇපකරයෙන් සීමා වූ සමාගමක් ලෙස කිසිදු හිමිකරුවෙකු නොමැති ආයතනයක් වන අතර, කිසිදු විටක රජය හෝ මහා පොළ භාරකාර අරමුදල (MTF) සතු වූ ආයතනයක් නොවන බවයි.

කෙසේ වෙතත් මෙම නිල නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධයෙන් මෑතක දී ප්‍රකාශිත අදහස් හා චෝදනා පිළිබඳ ව සහ ආයතනයේ නීත්‍යනුකූල තත්ත්වය හා පාලනය පිළිබඳ ව එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ප්‍රකාශයන්, තම ආයතනයේ කීර්ති නාමයට හා මෙහෙවරට හානි කිරීමට දරන අසාධාරණ උත්සාහයන් ලෙස සලකන බවත් දක්වා සිටියා.

එම ආයතනය මෙම නිවේදනය නිකුත් කර තිබුණේ, SLIIT ආයතනයේ භාරකාරත්වය මහපොළ අරමුදල වෙත යළි ලබාගන්නා බවත්, එහි ආදායමෙන් මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාණය වැඩි කරන බවත්, SLIIT ආයතනයේ පාඨමාලා සහනදායී ලෙස පවත්වා ගෙන යෑමට කටයුතු කරන බවත් වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික සේවා ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී දැක්වූ අදහස්වලින් අනතුරුවයි.

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, SLIIT ආයතනය පිළිබඳ ව ජනාධිපති කොමිෂන් සභාව දුන් නිර්දේශ නො තකා පසුගිය ආණ්ඩුව 2017 දී එම ආයතනය නීති විරෝධී ගිවිසුමක් හරහා පවරා දුන් බවත්, මීට පෙර ආණ්ඩුවේ ජනාධිපති, අගමැති ඇතුළු ඇමති මණ්ඩලය මේ සඳහා වගකිව යුතු බවත් ය.

එම ප්‍රකාශයට හා ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජය තුළ ගොඩනැගුණු කතිකාවත හරහා මතු ව ආ කරුණුවලට පිළිතුරු දෙමින් එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, SLIIT ආයතනය 1999 වසරේ දී 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ඇපකරයෙන් සීමා සහිත සමාගමක් ලෙස ස්ථාපිත කරන ලද බවත්, එය නීතිමය වශයෙන් ලාභ නො ලබන ආයතනයක් ලෙස ව්‍යුහගත කර ක්‍රියාත්මක වන බවත් ය. තව ද ආයතනයේ යහපත උදෙසා ක්‍රියා කරන වෘත්තිකයන් සමූහයක් විසින් පාලනය කරනු ලබන බවත්, මෙය හාවඩ් (Harvard) සහ ප්‍රින්ස්ටන් (Princeton) වැනි ජාත්‍යන්තර විශ්ව විද්‍යාල පාලන ආකෘතින් හා සමාන වන බවත් දක්වමින් එම ආයතනය කියා සිටින්නේ, ඇපකරයෙන් සීමා වූ සමාගමක් ලෙස SLIIT හට කිසිදු හිමිකරුවෙකු නොමැති අතර, කිසිදු විටක රජය හෝ මහා පොළ භාරකාර අරමුදල (MTF) සතු වූ ආයතනයක් නොවන බවයි.

කෙසේ නමුත්, ආයතනයේ මුල් සංවර්ධනය සඳහා රජය සහාය දැක්වූ නමුදු කිසිදු විටක SLIIT හි හිමිකාරිත්වය රජය සතු වී නොමැති බව අවධාරණය කරමින් ආයතනය ස්ථාපිත වූ දිනයේ සිට අද දක්වා නීතිමය තත්ත්වය නො වෙනස් ව පවතින බවත්, එහි මුල් සාමාජිකයන් තවමත් සේවය කරන බවත්, ඉවත් වූවන් නිසි ක්‍රියාවලියක් ඔස්සේ ආදේශ කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

තවදුරටත් එම නිවේදනයේ ඔවුන් දක්වා සිටිනුයේ, ආයතනය උපයන සියලු ආදායම්, විශ්ව විද්‍යාලයේ සංවර්ධනය සඳහා සෘජුව ම යළි ආයෝජනය කරනු ලැබ ඇති බවත්, එම ආයෝජන පහසුකම් වැඩිදියුණු කිරීම, අධ්‍යයන සම්පත් යාවත්කාලීන කිරීම, ලෝක මට්ටමේ ආචාර්යවරුන් ආකර්ෂණය කර ගැනීම සහ වඩාත් වැදගත් ලෙස සිසුන්ට ඉහළ ගුණත්වයකින් යුත් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වන බව සහතික කිරීම සඳහා යොදාගනු ලබන බවත් ය.

එහි දී ඔවුන් තමන්ගේ දැක්ම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරමින්, ජාතික සංවර්ධනයට දායක වීම බව ද පවසා සිටිනවා.

කෙසේ නමුත් එම ආයතනය අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටින්නේ, ආයතනයේ මෙහෙවර හා ඉතිහාසය දේශපාලනීකරණය කිරීමට හෝ විකෘති කිරීමට උත්සාහ දරන ප්‍රකාශයන්, SLIIT ආයතනයට පමණක් නොව, එම ආයතනය කෙරෙහි විශ්වාසය තබන සිසුන්, ආචාර්යවරුන් සහ ඔවුන්ගේ පවුල්වලට ද බරපතල අසාධාරණයක් සිදු කරන බවයි.

මෙම ක්‍රියාවන් , එම ආයතනය මෙතෙක් එක්ව ගොඩනගා ඇති ප්‍රගතියට බාධා කරන බවත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමේ වඩාත් වැදගත් කාර්යයෙන් අවධානය වෙනතකට යොමු කරන බවත් දක්වමින් එවැනි තත්ත්වයක වුව සිසුන්ට ඉහළ ගුණත්වයකින් යුත්, ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි අධ්‍යාපනයක් අඛණ්ඩව ලබා දීම සහතික කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

Author

3 Comments

  • 2017/18 api campus iddi my3 oka sampurnen private sector ekata dunna kyala news gya eka boruda? Habai ethanin passe campus eke hama payment ekakma hithuna hithuna widiyata wadi karaa

  • මෙම ආයතනය ඉදිකරේ කවුද? මොන අරමුණකින්ද? ඒ තීරණ ගත්තේ කව්ද? රජය විසින් ගත් තීරණයකින් මෙය ඉදිවූවානම් මෙහේ මූලික අයිතිය තිබෙන්නේ රජයටයි. පසු කාලීනව දූෂිත පාලනයන් විසින් වංගු ගසා තම සහචර පිරිසක් යටතට ගෙන පාලනය කල ආයතන අනන්තවත් ඇත. මේවා සොයා බලා නිවැරදි කිරීම කළයුතුයි.

Comments are closed.

Related Posts