අත්අඩංගුවට ගන්න යද්දී ෆෝන් එකත් ඕෆ් කර ගෙන රාජිත තවම හැංගිලා !

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න දුරකතනය ද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසූ බව අද දිනමිණ පුවත්පත වාර්තා කරනවා.

රාජිත සේනාරත්න නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දුන් නමුත් එසේ නො පැමිණීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇතැයි සඳහන් වනවා.

කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් වෙන් වෙන් වශයෙන් යොදවා ඇති අතර, ඒ අනුව එසේ අත්අඩංගුවට ගැනීමට ඊයේ (13) දිනයේ දී කළ උත්සාහයන්වල දී මෙසේ හිටපු අමාත්‍යවරයා පලා ගොස් ඇති බව වාර්තා වූ බවයි වැඩිදුරටත් එම ප්‍රකාශකයා විසින් සඳහන් කර ඇත්තේ.

මෙම විමර්ශනයට අදාළ ව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයක දී ම රාජිත සේනාරත්න වෙත දැනුම්දීම් සිදු කළ ද ඔයු විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබා දීම මග හරිමින් සිටින බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

කෙසේ නමුත් රාජිත සේනාරත්න අසනීප තත්ත්වයෙන් පෙළෙන බව සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත යොමු කළ ඇති නමුත් එහි කිසිදු නීතිමය වලංගුතාවක් දක්නට නො ලැබෙන බව සඳහන් වනවා.

රටින් බැහැරව සිටින බව ආදී විවිධ අසත්‍ය කරුණු අවස්ථා කිහිපයක දී පවසමින් කොමිසම මග හරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පසුගිය දා අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි අතර, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බව දක්වමින් කොමිසමට පැවරී ඇති බලතල ප්‍රකාර ව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහි දී නියෝග කර තිබුණා.

කෙසේ නමුත් රාජිත සේනාරත්න සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීඹට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග විසින් වාර්තා කර සිටිනවා.

Author

Related Posts