ආර්ථික මධ්‍යස්ථාන 14 ක් හොර රහසේ පෞද්ගලික සමාගමකට…

ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථාන 14 ක් හොර රහසේ පෞද්ගලික සමාගමකට පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සමිතිය පවසයි.

ඊයේ (13) දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව කැඳවමින් පවසා සිටියේ ආණ්ඩුවේ මේ අසාධාරණ ක්‍රියාමාර්ගයට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්න බවයි.

එකම දිනක, එකම වෙලාවට ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 14 ම වසා දමා විරෝධතා පැවැත්වීමටත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හා ජනාධිපති වරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කිරීමටද ඔවුන්ගේ රැස්වීමේදී තීරණය වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන 18ක් ඇති අතර එයින් 14ක් පෞද්ගලික සමාගමකට පවරා දීමට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ගෙන ඇති කැබිනට් මණ්ඩල සංදේශය වහාම හකුලා ගන්නා ලෙස ඔවුන් රජයට බල කර සිටී.

අමාත්‍යවරයා විසින් ඉතා සූක්ෂම ලෙස කිසිවෙකුටත් නොදන්වා ලියාපදිංචි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීම සඳහා බව පවසමින් සුදානම් වෙන්නේ ආර්ථික මධ්‍යස්ථාන 14ක් පෞද්ගලීකරණය කිරීම සඳහා බව මෙම සංගමය පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන සියල්ලේම නියෝජනයෙන් පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් කියා සිටියේ කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව පුද්ගලික සමාගමකට ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල බදු දීමට අමාත්‍යවරයා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර ඇති බවය. කිසිදු ආකාරයකින් රජයට කිරීමට ඉඩ නොදෙන බවත් ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා දමා ගොවි, කම්කරු ජනතාව සමඟ පාරට බැස මෙම රජයට පසුගිය රජයන් වලට අත් වූ ඉරණමම අත්කරන බව ද, රජය මෙම තීරණය හකුලා නොගතහොත් පසුගිය ආණ්ඩු වලට සිදු වූ විපතම මෙම රජයටත් සිදුවන බව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න රජයට අනතුරු අඟවන ලදී.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති මේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ කිසිම දෙයක් වෙළෙන්දන්ට ප්‍රයෝජනවත් නොවන අතර මෙමගින් කිසිම වෙළෙන්දෙකුගේ සහ ගොවියෙකුගේ අයිතිවාසිකම් රැකෙන්නේ නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා. එම සංදේශයට අමතරව “National Agri Market පෞද්ගලික සමාගම” නම් සමාගමකට සමාගමක් පිහිටුවීමට යන අතර වසර 5කට වෙළෙන්දන්ට ලබා දුන්නද පුද්ගලික සමාගමට අවුරුදු 33කට ලබා දීමට යන බවද ඔහු සඳහන් කළා.

මේ රජය බලයට පත් කිරීමට ඔවුන් බවත් සහය දැක්වූ බවත් රජය හරි මග නොයන්නේ නම් ගෙදර යවන්නත් වැඩ කරන්නේ ඔවුන්ම බවත් ඔහු සඳහන් කළා. එසේම ඔවුන් සඳහන් කළේ ආණ්ඩුව විසින් ව්‍යාපාරිකයන්ව සමාගමේ ඉත්තන් බවට පත් කිරීමට සූදානම් වබ බවයි යම් හෙයකින් රජය මෙය සිදු කළහොත් සියලු දෙනා එක්ව පාරට බහින බවත් ඔවුන් සඳහන් කළා.

මේ පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව What News අපි අද (14) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතාගෙන් විමසීමක් කළා.

මේ වන විට ඇති තත්වය වන්නේ ඇමතිවරයාගේ සහ රජයේ තීරණයක් අනුව සමාගමක් සකස් කිරීමට යන අතර සංගම් එකමුතුවේ සෑම සංගමයකින්ම දෙදෙනා බැගින් කොළඹට ගෙන්වා ඇමතිවරයාගේ වැඩ පිළිවෙල පිළිබඳව පැහැදිලි කර ඇත. ඇමතිවරයාගේ එම තීරණයන් සහ සමාගම්කරණය සම්බන්ධ ක්‍රියාවලිය සඳහා සියලු සංගම් විරුද්ධ බව ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධව ඇති ලේඛන සහ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ සංගම් විසින් ඉල්ලා සිටියද එය නොදී ඇති නමුත් ආණ්ඩුව සමග ගිවිසුම් ගත වීමට යන සමාගම්, ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඒවායේ කොටස් බෙදී යන ආකාරය පිළිබඳව වෙළෙඳ සංගම් විසින් තොරතුරු සොයාගෙන ඇත. එලෙස රැස් කරගත් තොරතුරු සහ ඊට අදාළ ලේඛන ඔවුන් සතුව තිබෙන අතර එම තොරතුරුද සහිතව ඊයේ මාධ්‍ය හමුව පවත්වා ඇත.

ඊයේ විශේෂ රැස්වීමක්ද පවත්වා ඇති අතර එහිදී ඇමතිවරයා මෙසේ ආර්ථික මධ්‍යස්ථාන සමාගම් වලට දීමට ගෙන ඇති තීරණය සහ ඊට හේතුව සාකච්ඡා කර ඇති අතර, අමාත්‍යවරයාගේ තීන්දුව අත්තනෝමතික බැවින් එම තීන්දුවට වෙළෙඳ සංගම් එකහෙළාම විරුද්ධ බවට තීරණය කර ඇත.

එසේම සභාපතිවරයා කියා සිටියේ ඔවුන් කරගෙන යන ව්‍යාපාර හදාදුන්නේ රජය නොවන අතර රජයට බරක් නොවී වෙළෙන්දන් විසින් ස්වෝත්සාහයෙන් ගොඩ නගා ගත් ව්‍යාපාර හරහා රටේ ජනතාවට අත්‍යවශ්‍ය එළවලු සහ ආහාර සපයන බවයි. මෙලෙස සාර්ථකව ව්‍යාපාර කරගෙන යද්දී මෙය කොම්පැනියක් කළ පසු ව්‍යාපාරිකයන්ට නිසැකවම හානිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. උදාහරණයක් ලෙස යම් වෙළෙන්දෙක් යම් කඩයක ව්‍යාපාර කටයුතු කරගෙන යන කාලය කොපමණද යන්න සහ එම කඩයෙන් ඔහුව ඕනෑම මොහොත එළවා දැමීම යන කාරණා දක්වා සමස්ත ආර්ථික මධ්‍යස්ථාන හැසිරවීමේ සහ ඒ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ බලය එම සමාගම් සතුවේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාර කිරීමට අදාළ සුදුසුකම් පරික්ෂා කිරීමට 2004 වසරේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර 2005 වසරේදී සම්මුඛ පරීක්ෂණ වලින් සුදුසුකම් ලැබූ පුද්ගලයන්ට පමණක් මෙම කඩ හිමි වී ඇත. එසේම ලංකාව පුරාම ඇති ආර්ථික මධ්‍යස්ථාන වලද මේ ආකාරයට රජය මැදිහත්ව සිදු කර ඇත.
අමාත්‍යවරයා විසින් මෙම සමාගම්කරණයෙන් අත හැර ඇත්තේ වැසී ගිය සහ වැසී යමින් පවතින ආරථික මධ්‍යස්ථාන වන කිලිනොච්චිය, මැදවච්චිය, වාරියපොළ සහ ඇඹිලිපිටිය යන ඒවාය. මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කර ලිපියක් යැවීමට බලාපොරොත්තු වන අතර ඊට අදාළව අද හෙටම ක්‍රියාකරන බව සුනිල් සෙනවිරත්න මහතා පැවසුවා.
පවතින රජයට අපි පක්ෂපාතියි. හැබැයි පවතින රජය අක්‍රමවත් ලෙස අපිව ආක්‍රමණය කරනවානම් ඊට එරෙහිව නැගී සිටිනවා” යනුවෙන් සභාපති වරයා වැඩි දුරටත් කියා සිටියා.

මෙහිදී වසන්ත සමරසිංහ ගමේ මිනිහා ගමේ ව්‍යාපාරිකයාව සහ ගොවියාව අධික ලෙස සූරා කන සමාගම් යාන්ත්‍රණයකට ගෙන යන්නට තීරණය කර ඇති බව පෙනේ. ගොවියාගේ වේදනාව හඳුනන කොළඹ දෙසට තනි සිග්නල් කණුව ලිපිනයැති ජනාධිපති ආර්ථික මධ්‍යස්ථානයක් ආසන්නයේ පිහිටි එක ම දුම්රියපොළ හදනකම් ජනතාව බලා සිටී. එසේ බලා සිටියදී ඒ ආර්ථික මධ්‍යස්ථානය කොහේ හෝ ලාභ වෙනුවෙන් පමණක් කෙළ හලන කොපනෛ කාරයෙක්ට ලියා දෙන්නට යනවානම් කොළඹ දෙසට තනි සිග්නල් කණුවේ පාටද වෙනස් වනු ඇත. එම නිසා ජනාධිපතිවරයා මැදිහත්ව මේ ප්‍රශ්නය විසඳිය යුතුය.

වසන්ත සමරසිංහලා තමන්ට අයිති නැති අනුන්ගේ ව්‍යාපාර ආණ්ඩුවේ ආර්ථික මධ්‍යස්ථානයේ තිබූ පමණින් සමාගම් වලට විකුණන්නේ නම් ලැජ්ජාවක් නැති රනිල් හාමුගේ සහ වසන්තලාගේ වෙනස කුමක්දැයි ජනතාව අසයි. අනෙක් අතට මෙවැනි තීරණ ගනිද්දී එම කර්මාන්තයේ හෝ ව්‍යාපාරයේ නිරත වෙන පාර්ශවකරුවන්ගේ අදහස් අසාධාරණ නොවන ලෙස විමසා තීරණ ගත යුතු නොවන්නේද? එසේ ගොවීන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් නොවිමසා ආර්ථික මධ්‍යස්ථාන සඳහා සමාගම් හදන්නට හෝ සමාගම් වලට විකුණන්නට වසන්ත සමරසිංහ කවුද? වසන්ත සමරසිංහලාව බලයට ගෙන ආ වෙළෙන්දන්ටම කොකා පෙන්වා සමාගම් වලට නතු කිරීමෙන් ආණ්ඩුවට හෝ වසන්තලාට ඇති ලාභය කුමක්ද? එම නිසා මේ මොහොතේ අපට කියන්නට ඇත්තේ ටිල්වින්ගේ කවියමය. ගොවියන්ට සහ වෙළෙන්දන්ට මෙයින් අසාධාරණයක් සිදු වන්නේ නම් ” නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ලා” කීම හැර අන් කිසිවක් නැත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading