දුමින්දට දැඩි කොන්දේසි එක්ක ඇප

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පසුගිය මැයි මස 23 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.

ඒ අනුව අද (14) දිනයේ දුමින්ද දිසානායක මහතාව අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත දුමින්ද මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

ශරීර ඇප ලබාදෙන පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කළ විනිසුරුවරයා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරන ලෙසත් ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන බවටත් නියෝග කළා.

සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි විරෝධයක් දැක්වුවා.

මෙහිදී මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සැකකරුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරන බවයි. 

වැල්ලවත්ත, ප්‍රදේශයේ ප්‍රමුඛතම නිවාස සංකීර්ණයකින් ටී- 56 ගිනි අවියක් මැයි 20 වැනිදා සොයා ගත් අතර එම නිවාස සංකීර්ණයේ සිටි ආරක්ෂක නිළධාරියා මේ සම්බන්ධයෙන් පොලිසියට පවසා තිබුණේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සිය නිවසට ටී56 ගිනි අවියක් රැගෙන යන දුටු බවයි.

ඒ අනුව පොලිසිය පැමිණ අදාළ නිවස පරීක්ෂා කිරීමෙන් පසු, ගමන් මල්ලක බහා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය පොලිසිය විසින් සිය භාරයට රැගෙන යනු ලැබුවා.

ඒ අනුව කල විමර්ශනවලට අදාලවයි දුමින්ද දිසානායක මහතාව පසුගිය මැයි මස 23 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ.

Author

Related Posts