වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, හෙට (15) සිට කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසයි.
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් රාජ්‍ය නිලධාරීන්ට ජුනි 30 දක්වා කාලය ලබා දී තිබුණු අතර එම කාලය අවසන් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ජුනි 30 දක්වා කාලසීමාව තුළ අදාළ ප්‍රකාශ ලබා නොදුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට දින 14ක් ඇතුළත ඒවා ලබා දෙන්නැයි අවවාදාත්මක ලිපි ද යොමු කර ඇත. අමාත්‍යවරයා සඳහන් කරන පරිදි එම කාල සීමාවද අදින් අවසන් වේ.
ඒ අනුව මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, අල්ලස් කොමිසමට භාරදිය යුතු වන අතර ඒ අනුව හෙට සිට අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අයකර ගැනීමට නියමිත බව අමාතයවරයා පවසා සිටියා.
ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් නිලධාරීන්ගේ එම දඩ මුදල් මූලික වැටුපෙන් එක් දිනකට 30න් 01 බැගින් කප්පාදු කිරීම සිදු කරන බව පැවසේ. 2025 මාර්තු 31 වනදා දක්වා වන වාර්ෂික වත්කම් බැරකම් ලේඛන අල්ලස් කොමිසම ඉදිරියේ කැඳවා තිබූ අතර සෙසු රාජ්‍ය නිළධාරීන්ගේ වත්කම් බැරකම් ඉදිරියේදී කැඳවීමට අල්ලස් කොමිසම සැලසුම් කර ඇත.
