(තරිඳු ජයවර්ධනගේ වීඩියෝවක් ඇසුරෙනි. කතාවේ සහ ඡායාරූපවල අයිතිය තරිඳු ජයවර්ධන සතුය. ඇතැම් ඡායාරූප 2019 දී ගත් ඒවාය.)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය කළ ක්‍රියා යටගැසීම සඳහා රාජ්‍ය බුද්ධි සේවය කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂ්‍ය රැසක් හෙළි කරගෙන තිබේ.
වවුනතිවු පොලිස් නිලධාරීන් ඝාතනයට අදාල පරීක්ණ වෙනතක යොමුකොට එම ඝාතනය වෙනතක යොමු කිරීම සඳහා දෙමළ විමුක්ති කොටි සංවිධානයට අදාල කතාවක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම කතාව නිර්මාණය කිරීම වෙනුවෙන් සැරයන්වරයා කර තිබුණු කාර්යය වන්නේ බෝම්බ ප්‍රහාරයට පිළිබද විමර්ශන නොමග යැවීමට අත්අඩංගුවට ගත් අජන්තන් නම් හිටපු කොටි සංවිධාන සාමාජිකයා ගැන බොරු ඔත්තුවක් දීමය.
ඒ සැරයන්වරයා මේ වන විට මාසයක කාලයක් සඳහා රැඳවුම් නියෝග මත රඳවා තබාගැනීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. මෙම සැරයන්වරයා කියා තිබුණේ ජැකට්ටුවක් ගැන ව්‍යාජ තොරතුරක් ලබා දුන්නේ වට්ස්ඇප් හරහා ලැබුණු තොරතුරු මත බවය. කෙසේ වෙතත් විමර්ශනවලදී සාක්ෂ්‍ය පරස්පර බව හෙළි වී තිබුණි. මුලින් ඔත්තුව ලැබුණේ වට්ස්ඇප් හරහා බව කීවත්, පසුව ඉමෝ හරහා තොරතුරු ලැබුණු බව කියා තිබුණි.
2018 ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන- මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණයක් මගින් ව්‍යවස්ථා විරෝධීව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන ලදී. එයින් පසු නීතිවිරෝධීව පාර්ලිමේන්තුව විසුරුවීමේ නියෝගයක් ලබාදෙන ලදී. එලෙස පත් වූ දින 52 නීතිවිරෝධී ආණ්ඩුව පිහිටුවා 34 වැනි දිනයේදී මෙම සිදුවීම සිදුව තිබුණි.
මෙම ආණ්ඩුව බිහිවුණේ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභ රාජපක්ෂ ඝාතනය කිරීමට සැලැස්මක් ඇතැයි බුද්ධි අංශ සමඟ සම්බන්ධ නාමල් කුමාර නම් පුද්ගලයා සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවකින් පසුවය. ඒ අනුව මෙම ආණ්ඩු පෙරළිය වෙනුවෙන් බුද්ධි අංශවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් රැසක් සිදුව තිබුණි.

නීතිවිරෝධී ආණ්ඩුවට එතෙක් සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබුණු අතර, කොටි තර්ජනයක් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් නිර්මාණය කිරීම උදෙසා නොවැම්බර් 30 වැනිදා කොටි නැගිටීමක් ගැන සිදුවීමක් වාර්තා විය. ඒ වෙද්දී ආණ්ඩුව පවත්වාගෙන යෑම අසීරු වූ අතර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු තර්ජන මැද විශ්වාසභංග යෝජනාවක්ද සම්මත වී තිබුණි. නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120ක් හෙවත් බහුතරක් අත්සන් කළ අභියාචනාධිකරණ පෙත්සමක් විභාග කෙරෙමින් පැවතුණි.
වවුනතිවු ප්‍රදේශයේ තිබුණු පොලිස් මුරපොලකට ප්‍රහාරයක් එල්ලකොට ගාල්ල උඩුගම පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු වූ ඩබ්ලිව්ජීඑල්අයි ප්‍රසන්න සහ අම්පාර කල්මුණේ පදිංචිව සිටි ජී. දිනේෂ් නම් වූ පොලිස් නිලධාරියාව යම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණේ මේ අතරය. එයින් පසු එය කොටි සංවිධානය විසින් සිදු කළ බවට ආන්දෝලනයක් ඇති කර තිබුණි.
වහාම මෙය කොටි යළි නැගිටීමක් ලෙස අර්ථකතනය කෙරුණි. රාජපක්ෂලා බලයේ සිටීමේ වැදගත්කම සමාජය හමුවේ ඉස්මතු කිරීමට මේ සිදුවීම යොදාගැනුණි.
මෙම සිදුවීමෙන් පසු අජන්තන් හෙවත් කදිරතම්බි නම් වූ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහුව අත්අඩංගුවේ සිටියදී ඔහු පැළඳ සිටි ජැකට් එක පොලීසිය ගෙ න තිබුනි. එය අජන්තන්ගේ නිවසට යවා තිබුණි. එම සිදුවීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතට පාලමක් යට ජැකට්ටුවක් තිබෙන බවට ඔත්තු ලබා දී තිබුණි. පොලිස් බල්ලන් සමඟ නිලධාරීන් පාලම වෙත යද්දී තිබුණේ ජැකට්ටුවක් නොව බෑග් එකකි. එය තුළ ජැකට්ටුව තිබුණි. එළියට පෙනෙන බෑග් එක තුළ ජැකට්ටුවක් තිබෙන බව කලින්ම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන දැන සිටියේය. ජැකට්ටුවක් තිබෙන බව කීවේ ඔහුය. එයින් පසු, එම ජැකට්ටුවේ ඉව ඇල්ලූ පොලිස් සුනඛයා අජන්තන්ගේ නිවසට ගොස් තිබුණි. එයින් පසු යුධ හමුදා බුද්ධි අංශද මෙම ප්‍රහාරය දෙමළ විමුක්ති කොටි සංවිධානයට බැර කර තිබුණි.

එහෙත් සැබෑ ලෙස එය සිදු කර තිබුණේ බුද්ධි අංශවල අනුග්‍රහය ලත් සහරාන් කණ්ඩායම හෙවත් ජාතික තවුහිද් ජමාත් කණ්ඩායම විසින්ය.
කතාවේ ඡායාරූපයෙහි ඇත්තේ ප්‍රහාරයට ලක් වූ පොලිස් මුරපොලය.
මේ පිළිබඳ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකළ වීඩියෝව පහතින් නරඹන්න.
