ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සෙත්පුර දේවගේ සමන්ති වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී මියගොස් තිබේ.
ඇය පසුගිය 11 සිකුරාදා දින හෘදයාබාධයකින් මියගොස් ඇති බව වාර්තා විය. මීගමුවේ පදිංචිව සිටි ඇය අත්අඩංගුවට ගැනුණේ පින්පුර දේවගේ තිවංක වීරසිංහ සමගය. ඔහු ඉෂාරාගේ සහෝදරයා විය.
මේ දෙදෙනව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරන බව පෙබරවාරි 25 වැනිදා කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබුණි. ඒ පෙබරවාරි 24 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා මීට පෙර ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත රඳවාගෙන ප්රශ්න කර තිබුණි. එහිදී ඝාතනයට පෙර ඉෂාරා සෙව්වන්දිව හෝටලයකදී හමු වීම සහ මෙම අපරාධය පිළිබඳ යම් තොරතුරු දැන සිටියදීත් තොරතුරු වසන් කිරීම යන චෝදනාව මත ඔවුන්ව රඳවාගෙන සිට ඇත.
විශේෂයෙන් සෙව්න්දිගේ සහෝදරයාට ‘උසාවිය ළඟදී සංජීවට ගහනවා‘ යනුවෙන් මැසෙන්ජර් පණිවිඩයක් හරහා කියා තිබුණු බවත්, ඝාතනයෙන් පසු ‘වැඩේ ඉවරයි‘ යනුවෙන් ප්රතිචාර දැක්වූ බවත් කියැවිණි.
මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් සැඟවී සිටින ඉෂාරා සෙව්වන්ද සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්රියාත්මක වේ.
ඉෂාරා සෙව්වන්දි ලංකාවේ සිටින බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියා ඇතත්, ඇය ලංකාවේ සිටින බව පවා ආණ්ඩුව දන්නේ නම් ඇයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ මන්දැයි බොහෝ දෙනෙකු ප්රශ්න කර තිබුණි.
