හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුවේ අදාළ ඇණවුම් මුද්‍රණය කිරීම සඳහා වන වියදම රුපියල් කෝටියක් ඉක්මවන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඊයේ (11) දැනුම් දී ඇත.
රුපියල් කෝටි 14ක වංචාවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෙසු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍ර භාරදීම සදහා සැප්තැම්බර් 16 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති මහේන් වීරමන් අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.
සමාජය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සහ රටේ ආර්ථිකයට විශාල පාඩුවක් සිදු කරන ලද මෙම නඩුව කඩිනමින් විභාග කර තීන්දුව ලබාදිය යුතු බව නීතිපති ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම අනුව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙම නඩුව සදහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම නඩුව කැදවූ අවස්ථාවේදී ප්‍රමාදය පිළිබඳව සඳහන් කරමින් පවසා සිටියේ නඩුකරයට අදාළ චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කර තිබූණද, ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බවයි.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණයට දැනුම් දුන් ආකාරයට, එක් විත්තිකරුවකු වෙනුවෙන් ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866,565ක මුදලක් වැයවනු ඇත. ඒ අනුව විත්තිකරුවන් 12 දෙනෙකුට අදාළව මුළු වියදම රුපියල් 1,039,780ක් වැය වන බවද සඳහන් විය.
මෙම ඇමුණුම් මුද්‍රණය සඳහා අවශ්‍ය කාලය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිවරයා විසින් දින 21ක් පමණ ගතවනු ඇති බව දැනුම් දී ඇති බැවින් ඇමුණුම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කාලය සලකා බලා නඩුව යළි කැඳවීමට දිනයක් නියම කරන ලෙසත්,නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුව යළි සැප්තැම්බර් 16 වැනිදා කැඳවනු ඇත.
