හම්බන්තොටට දුන් මිලියන 547න්. වියදම 23 යි

ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීම වෙනුවෙන් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක නිරත විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණේ.

එහිදී කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කර න බව ප්‍රකාශ කළා.

ඒ ඊයේ (11) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

දකුණු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙම වසරට මිලියන 574ක් වෙන් කර තිබුණද, එයින් දැනට වැය කර ඇත්තේ රුපියල් මිලියන 23ක් පමණක් වන බවද, එය ආසන්න වශයෙන් 4%ක ප්‍රගතියක් බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා, මෙම වසර අවසන් වීමට පෙර අදාළ ප්‍රතිපාදන ජනතා අවශ්‍යතා වෙනුවෙන් නිසි පරිදි වැය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලදී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර, කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග  යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්,  ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරුණා.

2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය හා අදාළ ප්‍රතිපාදන භාවිත කරමින් මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී විමසා බැලුණා.

මහවැලි අධිකාරියට අයත් ඉඩම් නිරවුල් කිරීම ඇතුළු ඉඩම් ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර,  එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ විවිධ බලඅධිකාරින්ට සහ අයථා ගනුදෙනු සඳහා ඉඩම් ලබා දෙනවා වෙනුවට, වඩාත් සුදුසු අයට සහ ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායක කටයුතු සඳහා ඉඩම් ලබා දීමේ සංස්කෘතියක් රටට අවශ්‍ය බවයි.

එමෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතිය පිළිබඳ විධිමත් සමාලෝචනයක් සිදු කර සැලැස්මක් ලබා දෙන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා, එය සියලු දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලැබෙන, මානව සම්පත හොඳින් කළමනාකරණය කෙරෙන සහ සම්පත් උපරිමයෙන් භාවිතයට ගැනෙන සැලැස්මක් විය යුතු බවද අවධාරණය කළා.

Author

Related Posts