ෆසීර් මොහොමඩ් යාපනයේ සිට
නාවක්කුලි ප්රදේශයේ හමුදා කඳවුරක ගෝනිබිල්ලෙකු විසින් හඳුනාගැනීමෙන් පසු හමුදාව විසින් අතුරුදන් කළ තිදෙනෙකු සම්බන්ධව ගොනු කර ඇති හබයාස් කෝපුස් (Habeas Corpus) පෙත්සමේ නියෝගය එළඹෙන 30 වැනිදා ප්රකාශයට පත් කරන බව චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණය ජුලි 11 වැනිදා නිවේදනය කළේය.
MCCV/01/2019, MCCV/02/2019, MCCV/03/2019 යන අංක යටතේ ලියාපදිංචි කර ඇති මෙම නඩුව ඊයේ චාවකච්චේරි මහේස්ත්රාත් ඒ. ජූඩ්සන් මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.
යුද හමුදාපතිවරයා, ප්රාදේශීය අණදෙන නිලධාරියා සහ නීතිපතිවරයා ප්රතිවාදීන් ලෙස නම් කර ඇති මෙම පෙත්සම් විභාගයට කැඳවූ අවස්ථාවේදී ශ්රී ලංකා යුද හමුදාවේ සෙබලුන් වෙනුවෙන්ද නීතිඥවරුන් පෙනී සිටියේය.
1996 වසරේ ජූලි මස 19 වන දින නාවක්කුලි සහ මරවන්පුලි ප්රදේශවල තරුණයින් විශාල පිරිසක් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එයින් පසු ‘ගෝනිබිල්ලා‘ ලෙසින් හැඳින්විය හැකි (දෙමළ භාෂාවෙන් තලයාට්ටි) හිස වසාගත් පුද්ගලයෙකු විසින් හඳුනාගත් පුද්ගලයන් 24 දෙනෙක්ව හමුදාව විසින් අතුරුදන් කර ඇත.
මෙලෙස අතුරුදහන් වූ තරුණයින් 24 දෙනාගෙන් 12 දෙනෙකුගේ නඩු යාපනය මහාධිකරණයේ ගොනු කරන ලදී.
පුද්ගලයන් 10 දෙනෙකු සම්බන්ධයෙන් ගොනු කරන ලද නඩු අතරින් පුද්ගලයන් 9 දෙනෙකුගේ නඩු 2002 වසරේදී යාපනය මහාධිකරණයේ ගොනු කර තිබූ අතර, පසුව මූලික නඩු විභාග චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයට භාර දීමෙන් පසු, චාවකච්චේරි අධිකරණය විසින් විභාග ඉදිරියට ගෙන යන ලදී.
අදාළ නඩු චාවකච්චේරි අධිකරණයේ පැවති අවස්ථාවේදී සම්බන්ධිත හමුදා සාමාජිකයින් හඳුනාගත් අතර, පසුව නඩු විභාග යාපනය මහාධිකරණයට භාර දෙන ලදී.
ඉන් අනතුරුව, එම නඩු යුද හමුදාවේ ඉල්ලීම මත යාපනයේ සිට අනුරාධපුරයට මාරු කරන ලදී.
මේ තත්ත්වය යටතේ, 2002 වසරේදී නඩු ගොනු නොකළ පුද්ගලයන් තිදෙනෙකු (සෙල්ලතුරෙයි ගණේසලිංගම්, ආරූමුගසාමි පොන්නම්බලම්, ජේසුදාස් ෆ්රැන්සිස්කෝ) සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ ගොනු කරන ලද හබයාස් කෝපුස් පෙත්සම් විභාග කිරීම සඳහා චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයට භාර දී තිබුණි. විභාගයට ගෙන තිබුණේ එම පෙත්සම්ය.
මෙහිදී එම නඩු තුනට අදාළ නියෝගය එළඹෙන 30 වැනිදා ප්රකාශයට පත් කරන බව මහේස්ත්රාත්වරයා දැනුම් දුන්නේය.
(මෙහි එන ඡායාරූපය සංකේතයක් පමණි.)
