අන්‍යෝන්‍ය තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවලදී, චීනය සමඟ වෙළඳාම් සීමා කරන ලෙස එක්සත් ජනපද බලධාරීන් යෝජනා කර ඇතත්, ශ්‍රී ලංකාව සිය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට එය අනුකූල නොවන බව පෙන්වාදෙමින් ඊට එකඟ වී නොමැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සීයට 30 දක්වා අඩු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි. ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින්, ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වන ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා මුලින් ප්‍රකාශයට පත් කළ 44% ක තීරුබදුව 30% දක්වා අඩු කරන බව දන්වා ඇත.
වර්තමානයේදී, ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු අනුපාතය, ඇමරිකාව සමඟ වෙළඳාමේදී ශ්‍රී ලංකාවට තරඟ කරන බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි අනෙකුත් බොහෝ රටවලට වඩා අඩු වන නමුත් වියට්නාමයට වඩා ඉතා වැඩි මට්ටමක ශ්‍රී ලංකාව තවමත් සිටී. ඊට අමතරව ඉන්දියාව සමඟ ඇති කරගන්නා එකඟතාව අනුව එය ශ්‍රී ලංකාවට අවාසිදායක වනු ඇතැයි අනුමාන කෙරේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ප්රතිපත්තියක සිටී. ඩේලිමිරර් එම සාකච්ඡා පිළිබඳ තමාගේ මූලාශ්‍රයකින් ලැබුණු කරුණු උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, චීනය සමඟ වෙළඳාම සීමා කරන ලෙස යෝජනා ඉදිරිපත් වී තිබෙන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය එයට එකඟ වී නැත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇමෙරිකාවට සිදුකරන අපනයන මත යැපෙන නිසා එය විවිධාංගීකරණය කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබේ. චීනය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ඒ අනුව ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.
