භූමිතෙල් යොදා ධාවනය කළ බර වාහන පොලිස් අත්අඩංගුවට

ඩීසල් මගින් ධාවනය කෙරෙන බරවාහන රැසක් මේ වන විට ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීම හරහා, විශාල පරිසර හානියක් සිදු කරමින් හා මාර්ගයේ ගමන් කරන්නන් හට ද ශ්වසන අපහසුතා ගෙන දෙමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු ඇති කරන බවට ලැබුණු පැමිණි රැසක් සැලකිල්ලට ගනිමින් පසුගිය දා විශේෂ රථවාහන පරීක්ෂාවක් හසලක නගරයේ දී සිදු කිරීමට කටයුතු කර තිබුණා.

බස් රථ සහ ලොරි රථ ධාවනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ඉන්ධන වශයෙන් භාවිතා කරනු ලබන්නේ ඩීසල් වන අතර, ඉන් පරිබාහිරව සුළු ලාභ අපේක්ෂාවෙන් විශාල පරිසර හානියක් ද සිදු කරමින් මේ වන විට රටේ වැඩි ප්‍රමාණයක මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ හා වැලි ප්‍රවාහන ටිපර් රථ ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කිරීම සිදු කෙරෙන බව වාර්තා වනවා‍.

කෙසේ වෙතත් මේ පිළිබඳව ලැබුණු පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් හසලක පොලිසියේ ස්ථානාධිපති ආනන්ද රත්නායක මහතාගේ මැදිහත් වීමෙන් හසලක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම රථවාහන පරීක්ෂාව සිදුකර තිබුණා.

මෙසේ බස් රථවල සහ ලොරි රථවල ඉන්ධන ටැංකි පරික්ෂා කිරීමේ දී ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කළ බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරන ලොරි රථ තුනක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස එම පරීක්ෂාවේ දී ලබාගත් ඉන්ධන සාම්පල ඛනිජ තෙල් සංස්ථාවට අයත් පේරාදෙණියේ පිහිටි ඛනිජ තෙල් පරීක්ෂණ අංශයට යවා තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව, සැකකරුවන් සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට හසලක පොලිසිය සැරසෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ.

හසලක පොලිස් ස්ථානයේ රථවාහන අංශ ප්‍රධානි උප පොලිස් පරීක්ෂක අමිල රත්නායක, පොලිස් සැරයන් (4107) අංජන, (67911) සිරිවර්ධන හා පොලිස් කොස්තාපල් (47138) බුවනෙක යන නිලධාරීන් විසින් එම විශේෂ රථවාහන පරීක්ෂාව සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

Author

Related Posts