කලාවැව, නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගණනාවක් මුළුල්ලේ සැරිසරමින් සිටි බරණ නම් දළ ඇතාට විදුලිසර වද්දවා මරා දැමීමේ සිද්ධියට අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහි චෝදනා ගොනු කිරීම සඳහා මෙම අපරාධයේ විමර්ශනවල උද්ධෘත නීතිපතිවරයා වෙත යවන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර, ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කර සිටි බව අද මව්බිම පුවත්පත වෙනුවෙන් අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද වාර්තා කර තිබුණා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබ ඇත්තේ, සිද්ධියට අදාළ නඩුව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා (8) යළි කැඳවූ අවස්ථාවේ දී යි.
ජාතික නාමල් උයන රක්ෂිතයට අයත් ස්වර්ණ හංස වැව ආසන්නයේ මියගොස් සිටියදී ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට හමු වූ බරණ ඇතා අඩි හතරක් පමණ දිගකින් යුත් පිරිපුන් දළ යුගළකට හිමිකම් කියූ ඉතා හොඳින් වැඩුණු අලංකාර ඇතෙක් වූ අතර, කලාවැව් ඉස්මත්තේ නිරන්තරයෙන් සැරිසැරූ බරණගේ කෙළිලොල් ස්වභාවය හා ගාම්භීරත්වය හේතුවෙන් වනජීවී ලෝලීන්ගේ ආකර්ෂණයට හා අවධානයට බරණ නිරායාසයෙන් ම පත් වී සිටියා.
කෙසේ වෙතත් බරණ විදුලි සැර වද්දවා මරා දැමීමේ මෙම සිද්ධියට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පෞද්ගලික දුරකථන සමාගම් සියල්ලෙහි කළමනාකාරීත්වයට මීට පෙර අවස්ථාවේ දී නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, විදුලිසර වද්දවා බරණ ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන විදුලි රැහැන් ලංකා විදුලිය බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවන් මඟින් පරීක්ෂා කර ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වනජීවි නිලධාරීන්ට නියෝග කර සිටියා.
බරණ දළ ඇතාට විදුලියසර වද්දවා මරා දැමීම සම්බන්ධයෙන් දැනට ඇප මත මුදා හැර සිටින ප්‍රධාන සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව මීට පෙර තහනම් කර තිබූ අතර, පසුව විමර්ශනවලට යටත්ව ඔහු යළි සේවයේ පිහිටවනු ලැබුවා.
එසේ මෙම මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් (51622) ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ අපිත් කුමාර ජයසුන්දර යන අයයි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ඇතාගේ මරණයට හේතුව ලෙස තහවුරු කර ගෙන ඇත්තේ විදුලිසර වැදීමෙන් හෘද වස්තුවට වී ඇති බලපෑම වන අතර, බරණ දළ හස්තියාගේ වයස අවුරුදු 30ක් පමණ වන බවත් උස අඩි නවයක් පමණ වන බවත් එහි දී ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත්, ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් බරණ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමි සභාපතිත්වය දරන ස්වභාව ධර්මය සහ වන සතුන් උදෙසා සංවිධානය ද ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මඟින් මෙම නඩුවට අතර මැදි පාර්ශ්වයක් ලෙස සම්බන්ධ වී සිටින බවයි සඳහන් වන්නේ.
