පාසල් වලින් මුදල් එකතු කිරීම දෙමාපියන්ට වදයක්… සමහර පාසල් වල ස්ථාවර තැම්පතුත් තියෙනවා… ස්ටාලින්ගෙන් හෙළිදරව්වක්…

පාසැල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී පාසල් වලින් මුදල් අය කිරීම නීති විරෝධී කටයුත්තක් වුවද දිගින් දිගටම එය සිදු වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් සටාලින් පවසනවා.

පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ චක්‍රලේඛ වල සඳහන් වන ආකාරයට පාසල් වලට ඇතුලත් කර ගැනීමෙන් පසුවද මෙලෙස මුදල් අය කර ගැනීම නීති විරෝධී වන අතර දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

නීතිය මෙසේ තිබුණ ද පාසල් වලින් මෙය කිසිදු ආකාරයකට ගනන් නොගෙන විශාල වශයෙන් මුදල් ලබා ගැනීම් සිදු වන අතර මෙය දෙමව්පියන්ට දරාගත නොහැකි බරක් බව ජෝශප් ස්ටාලින් පවසයි. පාසලට පමණක් නොව පාසැල් වලට සම්බන්ධ සංවිධාන වලට පවා මෙලෙස මුදල් ලබා ගත නොහැකි බව පැහැදිලිව චක්‍රලේඛයේ සඳහන් වුවද ආදී ශිෂ්‍ය සංගම් ඇතුළු සංගම් ගණනාවක් හරහා මුදල් අය කර ගැනීම සිදු වේ.

සමහර පාසල් වල මේ වන විට විශාල අරමුදල් රැස් කරගෙන තිබෙන අතර සමහර පාසැල් ස්ථාවර තැම්පතු පවා පවත්වාගෙන යන බව ඔහු සඳහන් කළා. නිදසුනක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ පන්තියක ළමයෙක්ගෙන් වාර්ෂිකව පාසල් සංවර්ධන ගාස්තු ලෙස රුපියල් 11000.00 ක් අය කරගනී.

මේ ආකාරයට ප්‍රධාන පාසැල් ගණනාවක ළමයින්ගෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් එකතු කර ස්ථාවර තැම්පතු පවා පවත්වාගෙන යනු ලබන බව ජෝසප් ස්ටාලින් පවසනවා. එසේම සමහර ප්‍රධාන පෙලේ පාසල් වල එම ස්ථාවර තැම්පතු වල වටිනාකම රුපියල් මිලියන 100කට වඩා වැඩි බවද ඔහු සඳහන් කර සිටියා.
ළමුන් 5000 ඉක්මවා සිටින පාසල් වල මෙලෙස විශාල ලෙස මුදල් එකතු කිරීමේ අරමුණ කිසිසේත්ම පැහැදිළි නොමැති අතර යාම යම් මුදල් අවභාවිත වීම් වාර්තා වන බව ඔහු පවසයි. නිදසුනක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ 2023 වසරේ පාසලේ ගිණුම් වලින් රුපියල් මිලියන 30ක් අතහැර ඇත.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් සොයා බැලිය යුතු අතර මුදල් එකතු කර පොදි ගසා ගැනීම නතර කළ යුතුය. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් සංවර්ධන සමිතියට එකතු කරන්නේ සමස්ත වියදම ළමුන් සංඛ්‍යාවෙන් බෙදා ලැබෙන අගය වන අතර එය එම වසරේ වියදම් වීමෙන් ඉවර විය යුතුය. නමුත් ඒවා එසේ වියදම් නොකර ඉතිරි කර FD දමා සල්ලි ගොඩ ගහ ගන්නා තත්වයක් බවට පත් වී ඇති බව ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියා. මේවා පිළිබඳව රජය නිසි ලෙස සොයා නොබලන්නේ නම් චක්‍රලේඛ වලින් කිසි තේරුමක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා.


2026 වසරේ රජයේ පාසැල් වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ චක්‍රලේඛයේ උපදෙස් මාලාවේ පහත පරිදි එය සඳහන් කර තිබුනා.

ළමයින් ඇතුළත් කිරීම සඳහා මුදල් සහ වෙනත් ආධාර ලබා ගැනීම තහනම් කිරීම.
සියලු ම රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම වෙනුවෙන් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හා සියලු ළමයින්ගෙන් අයකර ගැනීමට පාසල විසින් අනුමත කර ගෙන ඇති මුදල හැර සෘජුව ම හෝ වක්‍ර ව වෙනත් ගාස්තු හෝ ආධාර මුදල් හෝ වෙන යම් බඩු බාහිරාදියක් හෝ පාසලට / පාසලට සම්බන්ධ සංවිධාන වලට / තුන්වන පාර්ශ්වයකට ලබා දීම සපුරා තහනම් වේ. ළමයින් ඇතුළත් කිරීමෙන් පසු ව ද එසේ ලබා දීමක් සිදු නොකළ යුතු ය. එසේ සිදු කරන්නේ නම් එය නීති විරෝධී කටයුත්තක් වන අතර දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සලකන්න.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading