බිංඔය මිරිදිය මසුන් වගාව අසාර්ථකයි ! ගොවීන්ගෙන් චෝදනා

හැටන් – රොසැල්ල බිංඔය තේ වත්ත ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය වගා පොකුණු වසරක පමණ සිට කැලෑ වැදී විනාශ වෙමින් පවතින බවත්, එම කර්මාන්තය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් එම ප්‍රදේශයේ ගොවීන් ඉල්ලා සිටින බවත්, මව්බිම පුවත්පතේ හැටන් වාර්තාකරු චන්න අද්දරගේ වාර්තා කරනවා.

මිරිදිය මත්ස්‍ය වගාව මධ්‍යම කඳුකරයේ බොහෝ ස්ථානවල ඉතා සාර්ථකව පවත්වාගෙන යන කර්මාන්තයක් වන අතර, උඩරට කඳුකරයේ දරුවන් අතර පවතින මන්දපෝෂණයෙන් මිදීමට මෙන්ම වැඩිහිටියන් අතර පවතින පෝෂණ ඌනතා සඳහා ද එම මත්ස්‍ය වගාව සාර්ථක පිළියමක් ලෙස සලකනු ලබනවා.

මේ හේතුවෙන් කඳුකරයේ තේ වතු ආශ්‍රිත බොහෝ ස්ථානවල පොකුණු සකස් කර මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරීම සිදු කළත්, මේ වන විට ඒවා බොහෝමයක් අතහැර දමා එම ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබෙන බව වාර්තා වන අතර, එහෙයින් නිසා විශාල මුදලක් වැය කර සකසනු ලැබූ පොකුණු වල් වැදී විනාශ වෙමින් පවතින බවට මිරිදිය මත්ස්‍ය වගාකරුවන් චෝදනා කරනවා.

හැටන්, රොසැල්ල, බිංඔය තේ වත්ත ප්‍රදේශයේ විනාශ වෙමින් පවතින පොකුණු 16 ක් ඇති අතර, ඒවායේ මත්ස්‍ය වගාව සිදු කළ ගොවීහු පවසා සිටින්නේ ඔවුන්ට ලැබුණු මාළු පැටවු ගුණාත්මක බවින් අඩු වීම හා දිය බල්ලාන්, දිය නයින් වැනි සත්ත්ව හානිය හා සොරකම් කිරීම නිසා එම පොකුණු පවත්වාගෙන යෑම අසීරූ වී ඇති බවයි. ‍

එම නිසා මෙම පොකුණු ආවරණයට ශක්තිමත් දැල් හා ආරක්ෂක යෙදවුම් මෙන්ම, සොරකම් කිරීම වළක්වා ගැනීම සඳහා හැකි නම් ආවේක්ෂණ කැමරා උපකරණ සවි කිරීමට හා වැඩි ඵලදාවක් සහිත මත්ස්‍ය පැටවු ලබා දෙන ලෙස එම ගොවීන් ඉල්ලා සිටිනු ලබනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරියකුගෙන් මව්බිම පුවත්පත කළ විමසීමක දී පවසා ඇත්තේ, මෙම ව්‍යාපෘති සාර්ථකව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගොවියන් සඳහා මනා පුහුණුවක් ලබා දී තිබුණත්, ඔවුන්ගේ උනන්දුව සම්බන්ධයෙන් පවතින ගැටලු නිසා මෙම ක්‍රියාවලිය ඇතැම් ස්ථානවල ක්‍රියාත්මක කිරීම අසාර්ථක වී ඇති බවයි.

මාළු පැටවුන් වැඩීම සදහා මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් ගතවන බවත්, එම කාලය තුළ නිසි පරිදි සතුන්ට කෑම ලබා නොදී ව්‍යාපාරය පවත්වාගෙන යෑමට අසීරු වී ඇති බවත් සඳහන් කරමින් එම නිලධාරියා පවසා ඇත්තේ, මූලික අදියරේදී සියලුම වියදම් රජය විසින් දරාගෙන සියලු දේ ඉටු කර දුන් නමුත් සහනාධාර නොමැතිව ආදායම් උත්පාදන ව්‍යාපාරයක් ලෙස මෙම මිරිදිය මත්ස්‍ය වගාව ස්වයං රැකියාවක් වශයෙන් පවත්වාගෙන යෑම සඳහා ගොවීන් මැළිකමක් දක්වන බවයි.

මේ හේතුවෙන් ඉදිරියේ දී මේ ගොවි ජනතාව සඳහා මාස 10ක සැලැස්මක් හඳුන්වලා දීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Author

Related Posts