ඊශ්‍රායලයට විරෝධය පෑම නිසා තරුණයෙක් මාස 9ක් හිරේ දාලා

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන මාස 9කට ආසන්න කාලයක් සිරගත කර සිටි 21 හැවිරිදි තරුණයාට අදාළ නඩුව අද (09) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් තරුණයා, දෙහිවල පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගැනුණා.

ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ කිරීමට ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

පළමු අවස්ථාවේදී,( ඔක්තොම්බර් 23) සිය ජාතික හැඳුනුම්පත රැගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් දෙහිවල පොලිසිය විසින් ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට පසු දින (24) එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නිදහස් කර තිබුණා.

කෙසේවෙතත් එදිනම දෙහිවල පොලීසිය විසින් කට උත්තරයක් ගැනීමට යැයි පවසමින් ඔහු යළිත් පොලීසියට රැගෙන ගොස් ඇති අතර, දින දෙකකට පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මොහොමඩ් සුහායිල් දෙවන වරට දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් ධජය පාගා ගෙන සිටින වීඩියෝවක් බෙදා ගැනීම හේතුවෙන් බව මොහොමඩ් සුහායිල් තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පෙන්වා දෙනවා.

Author

Related Posts